Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

සර්ප හැවේ චිත්‍ර අඳින එකම පුද්ගලයා ලංකාවෙන්

ලංකාවේ බොහෝ විට හූනියම් සඳහා යොදා ගන්නා සර්ප හැව චිත්‍ර කලාව සඳහා යොදා ගත් අපූරු පුද්ගලයෙක් ගැන වාර්තා වේ. විවිධ දක්ෂතා සතු ඔහු ම අයෙකුටම වඩා වෙනස් ලෙස සර්පයන්ට ආදරේ කරමින් සර්පයාගේ හැව උපයෝගි කරගෙන අමුතු වැඩක් කරන අයකු වේ. ඔහු නමින් සමන් හෙට්ටිආරච්චිය.

මේ ඔහු පිළිබඳව ‘මව්බිම’ පුවත්පතේ පළ වූ ලිපියකි.

සමන් විවිධ අංශවලට දක්ෂතා දක්වන අයෙකි. දෑස් ගැට ගසා කෙනකුගේ චිත්‍ර ඇඳීමේ හැකියාව සමන්ට තිබේ. මේ ආකාරයට චිත්‍ර ඇඳීමේදී අඳින පුද්ගලයාගේ රුව මතකයේ තබාගෙන දෑස් ගැට ගසා චිත්‍රයකට නැඟීමට සමන් සතු දක්ෂතාවක් පවතී.

Giraya News Alerts

සහජයෙන් ලද බොහෝ හැකියාවන් සමන් සතුව පවතියි. ඒ සහජ හැකියාව තව තවත් මතු කරමින් ඔහු සර්ප හැවෙන් චිත්‍ර අඳින්නේ අන් කිසිවකු නොකළ දෙයක් කිරීමටය. සමන් සතුව ඇති මෙම හැකියාව කළ ලෝකයෙන්ම පළමු පුද්ගලයා වීමද විශේෂත්වයකි.

සර්පයකු හැව ඉවත් කරන්නේ ඔහුගේ යම් වර්ධන අවස්ථාවකදීය. හැව අරින සතුන් අතර කටුසු වර්ගද තිබේ. හැවක් ඉවත් කරන සතුන් අලුත් හමක් තම ශරීරය ආරක්ෂාව පිණිස යොදා ගනී. සර්පයකු ඔහුගේ පරණ හැව ඉවත් කිරීමේදී මුළු ශරීරයේම හැව අරී. සර්ප හැව ලංකාවේ බහුල වශයෙන් යොදා ගන්නේ හූනියම් කිරීමටය. චිත්‍ර ඇඳීමේ අදහස අනුව සමන්ට සර්ප හැවවල් සොයා ගැනීමේ දුෂ්කරතා මතු විය. මොහු සර්ප හැවවල් සොයන විට බොහෝ අය සැක කළේ හූනියම් කිරීමට සොයනවා යැයි කියාය.

නමුත් සර්ප හැවක අවශ්‍යතාව ගැන පහදා දුන් විට හැවවල් ඇති අය එකවර ඒවා ලබා දුන්නේද නැත. දෙහිවල සත්ත්ව උද්‍යානයට ගොස් චිත්‍ර ඇඳීමට සර්ප හැවවල් ඉල්ලීමේදී එවකට එහි හිටපු අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ “කොහොමද හලෝ සර්ප හැවේ චිත්‍ර අඳින්නේ” කියාය. එවිට සමන් කියා ඇත්තේ තමන්ට එම හැකියාව ඇති බවයි.

සමන් සර්ප හැවෙන් කළ චිත්‍රය දුටු සත්ත්ව උද්‍යානයේ අධ්‍යක්ෂවරයාද පුදුමයට පත් විය. එවිට අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ තමන් සිතා සිටියේ සර්ප හැව යොදා ගන්නේ හූනියම් සඳහා පමණක් බව කියාය. ‘ඉන් පසු දිනෙක සමන් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයකදී සත්ත්ව උද්‍යානයේ අධ්‍යක්ෂවරයා දැමූ සමරු සටහනද හරි අපූරුය.

‘දිනක් මගෙන් සර්ප හැවක් ඉල්ලාගෙන තරුණයකු පැමිණියා. ඔහු සර්ප හැව ඉල්ලුවේ චිත්‍ර අඳින්න. මම පිළිගත්තේ නැහැ. නමුත් සර්ප හැවක ඇඳපු චිත්‍රයක් මට පෙන්නූ විට තමන්ද පුදුමයට පත් වුණා.’යැයි සටහන් කර ඇත.

කෙසේ හෝ අවසානයේ සත්ත්ව උද්‍යානයෙන් සමන්ට සර්ප හැවවල් ලබාදීමට එකඟ විය. එහිදී සත්ත්ව උද්‍යානයේ සේවය කළ පිරිස් නම් සමන්ට මේ කාර්යයේදී උපකාර කර තිබේ. එදා සිට අද දක්වාම වත්මන් අධ්‍යක්ෂතුමියද සමන්ට සර්ප හැවවල් ලබා දෙන්නේ ඔහු සතු දක්ෂතාව වඩාත් ඉස්මතු කර ගැනීමටය.

සර්ප හැව, සතුන්ගේ නිය, දත්, කෙඳි වැනි දේ ළඟ තබා ගැනීමත් නීති විරෝධීය. නමුත් සමන්ගේ දක්ෂතා අනුව සත්ත්ව උද්‍යානයේ බලධාරීන් අත හිත දීම මත දක්ෂ නිර්මාණ රැසක් එළි දැක්වීමට හැකි වී තිබේ.

සර්ප හැවකින් චිත්‍රයක් ඇඳීමේදී එම හැව හැරිය අවස්ථාවේ සිට පැය 24කට ප්‍රථම ගත යුතුය. හැව රැලි වැටුණු පසු චිත්‍රයක් ඇඳීමට බැරිය. හැවක් ඇරපු අලුත එය ගඳය. එය කුණු වූ මාළු කෑල්ලක් මෙන් ගඳය. හැව කොච්චර ගඳ වුවත් එය චිත්‍රය ඇඳීමට සුදුසු පරිදි සැකසිය යුතුය. අත් ආවරණ යොදා එය කළ නොහැකිය.

සර්ප හැව ගත් විට එය පිරිසුදු වතුරෙන් සේදිය යුතුය. වතුරට කිසිම සැර ද්‍රව්‍යයක් හෝ සබන් දැමීමට බැරිය. සැර ද්‍රාවණයක් හෝ සබන් ජලයට යොදා හැව සෝදා හැරියහොත් එය විනාශ වෙයි. පිරිසුදු වතුරෙන් තුන් පාරක් පමණ හැව සෝදා පසුව පොත්තෙන් පොත්තට හැව ගැලවිය යුතුය.

පොතු ගැලවූ හැව සීතල වතුරේ දමා ටික වේලාවක් පදම් කර ගනී. ඉන් පසු චිත්‍රය ඇඳීමට යොදා ගන්නා කඩදාසියක් බෝඩ් එකකට සවි කොට එහි පදම්කරගත් හැව පොතු අලවා ගනී. කොර පොතු විශේෂිත ගම් එකකින් අලවා ගන්නා ගමන් හැව උඩ චිත්‍රයක් ඇඳීමට හැකි ලෙස සාදා ගනී.

එක චිත්‍රයක් ඇඳීමට සර්ප හැවවල් 2 – 3ක් අවශ්‍ය වෙයි. සර්පයාගේ බඩ හරියේ හැවේ කොටස ඝනකමින් වැඩි නිසා චිත්‍රයක් ඇඳීමට එම කොටස යොදා ගන්නේ නැත.

චිත්‍ර ඇඳීමට සෑම සර්පයකුගේම පාහේ හැවවල් භාවිත කර ගැනීමට සමන්ට හැකි වී තිබේ. උග්‍ර විස සහිත සර්පයන්ගේ සිට විස අඩු සර්පයන්ගේ හැවවල් භාවිත කරමින් සමන් චිත්‍ර ඇඳ ඇත.

විස විදින නාගයා, පොළඟා, ලෝකයේ විසම සර්පයා වූ මම්බා, කඩොල් මාපිලා, පිඹුරා, ගැර¾ඩියා, පබුළු කටුස්සා, ඩයිනෝසිරස් කටුස්සා, ගැරඩියා වැනි සතුන්ගේ හැවවල චිත්‍ර ඇඳීමට සමන්ට හැකි වී තිබේ. මේ සියලු සතුන් විස සහිතය. විස රහිත අයද සිටි. උග්‍ර විස සහිත සතුන්ද සිටී. සිය දෑතින්ම සර්ප හැවවල් අතුල්ලා පොතු ගැලවූ නිසා සමන්ගේ නියපොතු කහ විය. ඇඟිලි තුවාල වී කුණු විය. එසේ වූයේ චිත්‍ර ඇඳීමට යොදා ගත් හැවවල ඇති විස නිසාය.

සමන්ට සර්ප හැවවල චිත්‍ර ඇඳීමට දිගටම අවශ්‍ය වුවත් හැවවල් සොයා ගැනීමට බැරිවීම එම ගමනට බාධා වී තිබේ. බොහෝ විට සත්ත්ව උද්‍යානයේ සර්පයකු හැවක් ඉවත් කළා කියන පණිවුඩය ලද විගසම ගොස් එම හැව ගැනීමට සමන්ට යෑමට සිදු වෙයි. වතුර බෝතලයක දමාගෙන එන හැව පැය 24ක් ඇතුළත සකසා චිත්‍ර ඇඳීමට සූදානම් කර ගැනීම කළ යුතුය. නැත්නම් ජල බඳුන තුළම හැව පොතු ගැලවී යයි.

චිත්‍ර ඇඳීමට යොදා ගන්නා හැව අඩි 1 × 1 1/2 දිගින් හා පළලින් යුක්තය. නයි හැවකින් චිත්‍ර ඇඳීමේදී නයි 4 – 5කගේ හැවවල් යොදා ගනී. මේ වන විට සමන් හෙට්ටිආරච්චි සර්ප හැව භාවිතයෙන් චිත්‍ර 76ක් ඇඳ ඇත. එම චිත්‍ර ලංකාවේ මෙන්ම එංගලන්තයේද ප්‍රදර්ශනවලට තබා ඇත. ලංකාව ඇතුළත හය – හත් වතාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය කර ඇත.

මෙම චිත්‍ර ප්‍රදර්ශනය මඟින් සමන් බලාපොරොත්තු වන දෙයක් තිබේ. ඒ පරිසරයට හානියක් නොකර ඉවතලන දෙයකින් චිත්‍ර ඇඳීමට හුරු කිරීමය. ගසක් කපා විවිධ නිර්මාණ කරනවා වෙනුවට ගස නොකපා පරිසරයට හානියක් නොකර එම වැඩේ කිරීමට හැකි නම් එය වඩාත් උචිතය. පරිසරය විනාශ කොට කරන නිර්මාණවලින් තමන් තෘප්තිමත් වුවත් ඉන් පරිසරය හා අනාගත පරපුරද විනාශ කර ගැනීම සිදු වෙයි.

සර්ප හැව චිත්‍ර ඇඳීමට සුදුසු ලෙස සැකසීමේදී ඒවා යටි පැත්තට පදම් කොට අලවා ගනී. එසේ කිරීමෙන් අඟල් දෙකක හැවක් අඟල් හතර දක්වා ඇදීමෙන් සුදුසු තත්ත්වයට පත් කර ගත හැකිය. සර්පයන්ගෙන් චිත්‍ර ඇඳීමට අපහසු හැව වන්නේ පිඹුරාගේ හැවයි. නමුත් චිත්‍රය ඇඳීමෙන් පසු එහි ලස්සන නිමාවක් ඇත්තේද පිඹුරාගේ හැවේය.

සර්ප හැවේ චිත්‍ර ඇඳීමේදී භාවිත කරන්නේ පින්සලය. හොඳ පින්සලකින් හැවේ චිත්‍ර ඇඳීමේදී චිත්‍ර දෙකකට වඩා ඇඳීමට නොහැකිය. ඒ තරම් ඉක්මනට පින්සල ගෙවී යයි. ඒකට හේතුව සර්ප හැවේ පොතු ගලවා ඇලවූ පසු වීදුරු කැබලි මෙන් තියුණු ගතියක්ද ගනී. ඕනෑම හැවක ඕනෑම චිත්‍රයක් ඇඳීමට පුළුවන. අඳින සෑම චිත්‍රයක්ම වර්ණ කිරීමට පුළුවන. ඒ සඳහා සමන් වෙළෙඳපොළේ ඇති සාමාන්‍ය තීන්ත මිලට ගෙන ඒ සඳහා ගහක කිරි වර්ගයක් එකතු කර ගනී. එම විශේෂ කිරි එකතු වූ විට තීන්ත එක ඉක්මනින් දිය වෙයි. වර්ණය වැඩි කරයි. හැවට උරා ගැනීමේ හැකියාව වැඩිය. එසේ නොකර චිත්‍ර ඇඳීමට ගිය විට සිදු වෙන්නේ හැවට තීන්ත උරා ගැනීමටය එවිට චිත්‍රය හැඩයක් හෝ ලස්සනක් ගන්නේ නැත.

කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති සමන් හෙට්ටිආරච්චිට මෙම දක්ෂතා පෙන්වීමට මඟ පෑදුවේ පාසලේ බාලදක්ෂ ගුරුවරයාය. ඔහු හැම විටම කියා දුන්නේ පරිසරයට ආදරය කරමින් නව නිර්මාණ බිහි කර ගන්නා විධියයි.

ඒ අභාෂය ලබා ගත් සමන් තම ජීවිතයේ අලුත් කඩඉම් සොයා ගියේය. චිත්‍ර ඇඳීමේදී සුගත් බෝම්බුවල ගුරුවරයාගෙන් ලද ආභාෂයද අති මහත්ය. මේ ගුරුවරු දෙදෙනාගේ ආභාෂය මත ලද අත්දැකීමත් සමඟ සමන් චිත්‍ර ඇඳීමට පටන් ගෙන තිබිණි. එය උපරිම ඵල දරමින් චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වීය.

සමන් මේ ගමන ආවේ බොහෝ දුක් කම්කටොලු මැදය. සිය පියා අරගෙන දුන් බයිසිකලය විකුණා චිත්‍ර ඇඳීමට කොළ මිලදී ගත්තේය. නමුත් චිත්‍ර ඇඳීමට අවශ්‍ය වර්ණ මිලදී ගැනීමට සමන්ට මුදල් නැති විය. ඔහු කළේ ගස්වල පොතු කොළ යොදාගෙන තීන්ත වර්ග සාදාගෙන තිබිණි. ඒ ආභාෂය දිගටම අනුගමනය කරමින් සමන් චිත්‍ර කලාවේ නිරත විය.

දිනක් මෙලෙස චිත්‍ර ඇඳීමේදී සමන් සර්ප හැවක් දැක්කේය. එම හැව ඉවත් නොකර තමන් ඇඳි චිත්‍රය නිම කිරීමට සමන් ක්‍රියා කළේය. චිත්‍රය ඇඳ අවසානයේ පින්සලට වර්ණ කලවම් කිරීමේදී පැත්තකට ගැසූ වර්ණ සර්ප හැවට වැටී තිබිණි.

එම සර්ප හැවට වැදී තිබූ වර්ණ බේරී පහළට ගලා එමින් තිබිණි. මෙය දුටු සමන් හැව ගෙන එය කොළයක දවටා චිත්‍රයක් ඇන්දේය. එය සමන් සර්ප හැවේ ඇඳි පළමු චිත්‍රය විය. ඉන් පසු පරිසරයෙන් ලැබෙන සර්ප හැවවල් ගෙන එක් එක් විදියට චිත්‍ර ඇන්දේය.

සතියක් පමණ යන විට චිත්‍රයේ පණුවන් හටගෙන තිබිණි. එම වැඩේ සාර්ථක නැති නිසා එය සාර්ථක කර ගැනීමට විවිධ අත්හදා බැලීම් කළේය. ඒ සඳහා විවිධ පර්යේෂණ සිදු කළේය. අවසානයේ ගස්වල පොතු, කොළ කෙටූ කිරි යොදා සකසා ගත් විශේෂ සාන්ද්‍රණය යොදා සර්ප හැවේ චිත්‍ර ඇඳීම සාර්ථක කර ගැනීමට සමන්ට හැකි විය.

සර්ප හැවක අඳින චිත්‍රයක් වසර 50ක් පමණ තියා ගත හැකිය. චිත්‍රය නරක් වන්නේ නැත. චිත්‍රය ඇඳීමෙන් පසු අවසානයේ එය ලැමිනේට් කළාක් මෙන් දිස්වෙන්නේ එහි ඇති විශේෂිත ශාක සාන්ද්‍රණය නිසාය. චිත්‍රයේ ආරක්ෂාව සැලසෙන්නේද එනිසාය.

මෙම කාර්යයේදී සමන්ගේ මවු, සහෝදරිය හොඳ සහායක් ලබා දී ඇත. එසේම පිටතින් සිට බොහෝ සහාය දැක්වූ අයද සිටී. සමන්ගේ හැකියාව ඔප්නංවමින් දක්ෂ චිත්‍ර ශිල්පියකු ලෙස කලඑළි බසින්නේ ඒ හැමගේම මඟ පෙන්වීමෙනි. මෙතෙක් ලොව කවුරුත් නොකළ අලුත් වැඩක් කිරීමට හැකි වූ සමන්ගේ හැකියාව අදටද වැළලී නැත. සමන් අද ද උත්සාහ කරන්නේ නව නිර්මාණයකින් ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන යෑමටය. ලෝකයාටම අපූරු අත්දැකීමක් එක් කරමින් ලංකාවේ නව නිර්මාණ රැස් කරන අය අතරේ සමන්ද අති දක්ෂයෙකි.

ප්‍රගීත් සම්පත් කරුණාතිලක -මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top