Advertise with Giraya
BUSINESS

ජනපතිගේ දෝස්මුරයෙන් පසුව ආර්ථික පුනරුදයට මහ බැංකුව ගත් තීරණ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඇතුළු ප්‍රමුඛ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ ඊයේ (16) දිනයේ දී සිදු කළ සාකච්ඡාවේදී ආර්ථික සංවර්ධනයට සිදු කළ හැකි යෝජනාවන් පිළිබඳව කඩිනමින් තමන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දීම හෝ එසේත් නැතිනම් ජනාධීපතිවරයාගේ යෝජනාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්නැයි පැවසුවේය.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ අවවාද පිළිගනිමින් වැටුණු ආර්ථිකය ගොඩනැගීම අරමුණු කරගත් පියවර කිහිපයක් ඊයේ (16) දිනයේ දීම හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණේය.

ඉන් එක් පියවරක් නම්, කෝවිඩ් – 19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක එනම් කෝටි 15,000ක ප්‍රති මූල්‍ය පහසුකම් සැලසීමයි. මේ මුදල බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ව්‍යාපාර අතර බෙදා හරිනු ලැබේ. අය කෙරෙන පොලිය 4%කි. ණය සම්පාදනය සඳහා වාණිජ බැංකු අවශ්‍ය මුදල් 1%ක සහන පොලී අනුපාතයකට මහ බැංකුවෙන් සැපයේ.

Giraya News Alerts

පසුගිය වකවානුව තුළ විවිධ ව්‍යාපාර විසින් රජයට සපයන ලද නිෂ්පාදන සහ සේවා සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබේ. ඒවා ඇපයට තබාගෙන බිඳ වැටුණු ව්‍යාපාරවලට ප්‍රතිමූල්‍ය පහසුකම් සලසන්නැයි ජනාධිපතිවරයා ඊයේ (16) රැස්වීමේදී මහබැංකුවට උපදෙස් දුන්නේය.

ඒ අනුව, වාණිජ බැංකු ඇපකර පොරොන්දු මත සහන පොලියක් යටතේ අරමුදල් සම්පාදනයට ඊයේ (16) පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි. ඒ හැර, ඉදිකිරීම් ව්‍යාපාර සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබේ. ඉදිකිරීම් සමාගම්වලට ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකර මත සහන පොලියට ණය සැපයීම එහි අරමුණයි.

එමෙන්ම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩුකිරීම මෙහිදී ගෙන ඇති අනෙක් තීරණයයි.

එනම් වාණිජ බැංකු ජනතාවගෙන් භාරගන්නා තැන්පතුවලින් මහබැංකුව භාරයේ සංචිතවල රඳවා තබන ප්‍රමාණය 4% සිට 2% දක්වා අඩු කර ඇති අතර ඒ අනුව වානිජ බැංකුවකට මහජන තැන්පතුවලින් 98% ක්ම නැවතත් ණය සැපයීම සඳහා භාවිත කිරීමේ ඉඩ සැලසේ.

එමඟින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115 ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයේ.

මේ අතර මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සොයා බලා දින 14 ක් තුළ වාර්තාවක් ලබාගැනීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා කමිටුවක් පත් කර ඇත.

කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ හරිගුප්ත රෝහණධීර මහතා ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා මහබැංකුවේ නීති අධ්‍යක්ෂ කේ.ජී.පී.සිරිකුමාර සහ මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ජේ.පී.ගම්ලත් යන මහත්වරු එහි සෙසු සාමාජිකයින් වේ.

විශේෂයෙන් මහබැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය සමාගම් මගින් සිදුකරන මූල්‍ය සහ ලීසිං ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සහ ලියාපදිංචි වූ මූල්‍ය සමාගම් විසින් තම ගනුදෙනු සිදු කිරීමේදී සිදුකරන්නා වූ සමාජය අනුමත නොකරන ක්‍රියාවන් සහ ඒවා කළමනාකරණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි පියවර සහ නිර්දේශ ලබාදෙන ලෙස එම කමිටුවට දැනුම් දී ඇත.

මේ අතර මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත. රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගණුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් ඒ මහතා සඳහන් කර ඇත. එහි පසු විපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top