Advertise with Giraya
NEWS

කෝවිඩ් 19 මර්දනය කළේ මැතිවරණය පැවැත්වීමේ අපේක්ෂාවෙන් නොවේ – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළේ මැතිවරණය අපේක්ෂාවෙන් නොව ජනතාවත්, රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට කළ මෙහෙයුමක් ලෙස බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම, මාස කිහිපයක් තිස්සේ අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ජනාධිපතිවරයා පවසයි.

සෞඛ්‍යාරක්ෂිත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම, සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහිදී සහතික විය.

Giraya News Alerts

කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිතුමා කියා සිටී.

තවද, තත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණදිය හැකි බව ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා ‍දී ඇත.

මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම සාකච්ඡාවේදී සඳහන් කර කළේය.

මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා එහිදී පෙන්වා දී ඇත. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පවසයි. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන ප්‍රචාරණයේදී සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය.

මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්.ජේ අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටි.ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.රත්නසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට සහභාගී වීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top