දැනට පුද්ගලික බස් රථවලින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන නිසා සාමාන්‍ය බස් රථවල බස් ගාස්තුව අර්ධ සුඛෝපභෝගී බස් රථවල බස් ගාස්තුව මෙන් 1.5 කින් වැඩි කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකළ හැකි නම් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කරන ලෙසත් පුද්ගලික බස් රථ අයිතිකරුවන් විසින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව, එම ඉල්ලීම සලකා බලමින් මෙම තීරණය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත.
ඊයේ (16) පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේ දී පුද්ගලික බස් රථ අයිතිකරුවන්ගේ සංගම් විසින් නැවතත් එම ඉල්ලීම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.
පාසැල් නැවත ආරම්භ කිරීමෙන් පසුව පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු අධ්‍යාපන බලධාරින් හා පුද්ගලික බස් රථ අයිතිකරුවන් ගේ සංගම්, ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම හා පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් හා බස් රථ අයිතිකරුවන් සමග මෙහිදී ඔවුන්ගේ අදහස් හා යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.
පුද්ගලික බස් රථ අයිතිකරුවන් පෙන්වා දෙන්නේ දැනට සෞඛ්‍ය හේතුන් මත ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහණය කිරීම තුළින් තමන්ට කිසිදු ආදායමක් නොලැබෙන බවයි. තවමත් මහජනතාව ගමන් බිමන් සඳහා බස් රථ මගින් ගමන් කිරීම සිදු නොකරන බැවින් දිවා කාලයේ බොහෝ පුද්ගලික බස් රථ ධාවනය කෙරෙනුයේ මගින් සීමිත පිරිසක් සහිතව බැවින් ඉන් ලැබෙන ආදායම බස් රථ ධාවනය සඳහා ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන්නේය.
කෙසේ වුවද මෙම අවස්ථාවේ බස් රථවල ගාස්තු වැඩි කිරීමක් කිසිසේත්ම සිදු නොකරන බව කී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අර්ධ සුඛෝපබෝගී බස් රථ සේවාව අනිවාර්යෙන්ම අවසන් කිරීමට පියවර ගත යුතු බවත් ඒ් සඳහා සුදුසු වැඩ පිළිවෙළ සකස් කරන්නැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතාට උපදෙස් දුන්නේය.
අර්ධ සුඛෝපබෝගී යැයි පවසමින් සිදු කරන්නේ මගී ජනතාව ගසා කෑමක් බවත්, බස් රථයේ ජනෙල්වල එල්ලා ඇති දූවිලි වැදුනු තිර රෙදි ටිකක් හැරෙන්නට එහි ඇති අර්ධ සුඛෝපභෝගි බවක් තමන් නොදකින බව ද කීය.
දැනට එවැනි බස් රථ 400ක් පමණ තිබෙන අතර හැකි නම් ඇතැම් ප්‍රදේශවල ( බදුල්ල, කතරගම වැනි ) එම බස් රථ රාත්‍රි කාලයේ පමණක් ධාවනය කිරීමට ඉඩ සැලසෙන පරිදි වැඩ පිළිවෙළක් සකසන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
පාසැල් බස් රථ අයිතිකරුවන්ගේ සංගම් විසින් ඉල්ලීමක් කරමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවක දී පුද්ගලික බස් රථ සඳහා රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබා දිමට තීරණය කළාක් මෙන් තමන්ගේ පාසැල් වෑන් සඳහා ද රුපියල් ලක්ෂයක ණය මුදලක් බැංකු මගින් ලබා දෙන ලෙසයි.
