තමාගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ උපකාර කළ පිරිසට ණය දෙන ලෙස කිසි විටෙකත් තමා බැංකු වලට කියා නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ලංකා බැංකුවේ ක්‍රියාකාරිත්වය සමාලෝචනය පිණිස අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ය.
එමෙන්ම, බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවත් එය හඳුනාගෙන ආර්ථිකය සක්‍රීය කොට පවත්වා ගැනීමේ ක්‍රමෝපාය ඉදිරියට ගෙන යාම බැංකුවල ප්රමුඛ වගකීම බව ජනාධිපතිතුමා කියා සිටී.
ණය සඳහා ඉලක්කම් 02ක පොළියක් අය කිරීමෙන් රටක අපේක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය තනි ඉලක්කමක පහළ අගයකට ගෙනැවිත් සංවර්ධනයට සහාය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
එහෙත් ගොවියාගේ සිට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාට සහ ආයෝජකයන් අපේක්ෂා කරන මූල්‍යමය සහය දීමට රාජ්‍ය බැංකු පෙරමුණ ගත යුතු බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
අද පවතින තත්වයට ලෝකයේ කිසිදු රටක් මෙතෙක් මුහුණ දී නැති සේම ඉන් මිදිය හැක්කේ කෙසේද යන්න පැරණි රටාවෙන් බැහැරව සිතිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවේ ය. වැටී ඇති ආර්ථිකය නඟා සිටුවීම සාම්ප්‍රදායික ක්‍රමවේද මගින් පමණක් කළ නොහැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජනතාව තමාට ලබාදී ඇති බලය ක්‍රියාත්මක කරමින් සමස්ථ රටවැසියාගේ අපේක්ෂා ඉටු කිරීමට පසුබට නොවන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එය කිසිසේත් දේශපාලනය වෙනුවෙන් නොව රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට බාධා කරන්නේ නම් සුදුසු පියවර ගැනීමට පසුබට නොවන බව ද සඳහන් කළේය.
2015ට පෙර 7% ත් 8% ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2% ටත් වඩා පහත වැටිණ. කොවිඩ් වසංගතයත් සමග බිඳ වැටුණු ලෝක ආර්ථිකය හමුවේ එය තවදුරටත් කඩාවැටී ඇත. මේ සියලු කරුණු වටහාගනිමින් රටේ ආර්ථික පුනරුදය සඳහා වෙනුවෙන් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහායවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ යන මහත්වරු, අධ්යක්ෂ මණ්ඩලය සහ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.
