කොළඹ 07, නිදහස් චතුරස්‍රය අසල තිබී අද (12) දින උදෑසන 6.45ට පමණ මළ සිරුරක් පොලීසිය විසින් සොයා ගන්නා ලදී. මූලික විමර්ශන කටයුතු වලදී හෙළ වී ඇත්තේ, එම පුද්ගලයා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු කළමණාකරුවෙක් මෙන්ම නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළ 64 හැවිරිදි රජීව ජයවීර නම් පුද්ගලයෙක් බවයි.
ඔහු විසින් තමන්ගේ මරණයට පෙර සිය සහෝදරයාට ලියන ලද අවසන් ලිපිය පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. එම ලිපිය පිළිබඳව එම පුද්ගලයාට එස්.එම්.මාර්ගයෙන් ඊයේ (11) රාත්‍රියේ දී දැනුම් දී තිබෙනවා.
මෙම පුද්ගලයා ඊයේ (11) පස්වරු 6.45ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති අතර, ඊට පෙර ඔහු තම මෝටර් රථයේ යතුර මෙහෙකාරිය වෙත ලබාදෙමින් සදහන් කර ඇත්තේ සහෝදරයාට එය ලබාදෙන ලෙසයි.
විවාහකයෙකු වන මොහුගේ බිරිඳ මේ වන විට එංගලන්තයේ රැදී සිටින අතර, ඇය පොලිස් උද්‍යානය ආසන්නයේ පිහිටි නිවස ආසන්නයේ ගුවන් ප්‍රවේශපත් අලෙවි ආයතනයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා. එහි යතුර ද මුද්‍රා තබා මෙහෙකාරිය වෙත ලබාදී ඇත්තේ ආයතනයේ සේවිකාවක් වෙත ලබාදෙන ලෙස පවසමින් ය.
මිය යාමට පෙර ඔහු විසින් ලියා ඇති ලිපියේ ඇති කරුණු අනුව තමන්ට ඇතිවී තිබෙන රෝගී තත්ත්වයක් හේතුවෙන් සියදිවි නසා ගන්නා බවත් තමන් විසින් මෙවැනි තීරණයක් ගැනීම සම්බන්ධයෙන් සමාව අයදින බව ද එහි සඳහන් කොට තිබේ.
සිය නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ තැනැත්තිය තමාව රැකබලා ගැනීම උදෙසා ඇය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කර ඇති බවත් කොවිඩ් 19 වසංගතය මර්ධනය සඳහා පිහිටුවා ඇති ජනාධිපති අරමුදලට ද රුපියල් ලක්ෂ 05 ක මුදලක් බැර කළ බවට එම ලිපියෙහි කරුණු සඳහන් කොට තිබේ.
2019/20 වර්ෂය සඳහා පියවීමට ඇති ආදායම් බදු ද තමන් විසින් ගෙවා ඇති බවත් සිය අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් පියවීමට උත්සහ කලද එය සිදුකළ හැක්කේ වයස අවුරුදු 70 කට වඩා වැඩිනම් පමණක් බැවින් එය පියවීමට තමන්ට නොහැකි වූ බව ද ඔහු සිය ලිපියේ සඳහන් කොට තිබෙනවා.
තවද, තමන් විසින් සියදිවි නසා ගැනීම සඳහා යොදා ගනු ලැබූ ගිනි අවිය රුපියල් 151,500 ක මුදලකට මිලදී ගත් බවටද එම ලිපියෙහි සඳහන් කොට ඇත. කෙසේ වුවත් මෙම ලිපියේ අඩංගු කරුණු සහ මරණය සියදිවි නසා ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
