Advertise with Giraya
NEWS

උපදෙස් ක්‍රියාත්මක නොකරන බැංකු නිලධාරීන් ඉවත් කරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර වැඩ කරන පිරිසක් පත් කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී.

රට යථා තත්වයට පත්වෙමින් තිබෙන මෙම අවස්ථාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්න හා ගැටලු හඳුනා ගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (11) පෙරවරුවේ පැවැති විශේෂ‍ හමුවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ව්‍යාපාර සඳහා මෙන්ම ජනතාවගේ සුබසාධනය පිණිස රජය දෙන සහන බැංකු මගින් සමාජයට ගලා නොයන බව පෙනී යන බැවින් එය වහාම විසඳිය යුතු ගැටලුවක් බවත්, මහ බැංකුවේ හෝ රජයේ බැංකුවල නිලධාරීන් රජය දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත්කර වැඩකරන පිරිසත් සමග රටේ අවශ්‍යතාව ඉටුකිරීමට පසුබට නොවන බවත් අවධාරණය කළේය. අවපාතය ජය ගැනීමට සාම්ප්‍රාදයික චින්තනයෙන් හා වැඩ රටාවෙන් බැහැරව නොබියව තීරණ ගන්නා බව ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

Giraya News Alerts

එමෙන්ම, ඊ.ටී.අයි. ආයතනයේ සිදුවී ඇතැයි කියන අක‍්‍රමිකතා පිළිබඳව තවදුරටත් සොයා බලන ලෙසත් ජනතාවගේ තැන්පත් මුදල් කඩිනමින් ආපසු ගෙවීමට අවධානය යොමු කරන ලෙසත් මෙහිදී ජනාධිපතිවරයා ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන කමිටුවට දැනුම් දුන්නේය.

සිදුව ඇති ක‍්‍රියාවලිය පිළිබඳව වගකීමෙන් නිදහස්වීමට මහ බැංකුවට හැකියාවක් නැතැයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. මූල්‍ය ආයතනයක අක‍්‍රමිකතාවන් සිදුවන්නේ නම් තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටීමට මහ බැංකුව බැඳී සිටින බවද කී ජනාධිපතිවරයා එය මහ බැංකුවෙන් ඉටුවී නැතැයි ද සඳහන් කර සිටියේය.

විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත‍්‍රසිරි මහතා ඊ.ටී.අයි. අක‍්‍රමිකතා විමර්ශන ත‍්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරයි. විශ‍්‍රාමික සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවකු වන ඞී. එම්. ගුණසේකර යන මහත්වරුන් සෙසු සාමාජිකයෝ වෙති. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ද ඊයේ (11) එම සාකච්ඡාවට එක්ව සිටියේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top