Advertise with Giraya
Giraya NewsGiraya News
ENTERTAINMENT

අභ්‍යවකාශයට යාමට සැරසෙන ටොම් කෲස්

හොලිවුඩ් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන් අතර ටොම් කෘෘස් යනු ඉතා ජනප්‍රිය නළුවකු බව රහසක් නොවෙයි. පසුගිය කාලයේ ඔහු රඟපෑ Mission Impossible චිත්‍රපට ප්‍රේක්‍ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමි කරගනිමින් ආදායම් වාර්තා පිහිටුවීමට සමත් වුණා. මේ දිනවල නැවතත් මාධ්‍ය තුළ ටොම් කෘෘස් ගැන අවධානයක් යොමු වී තිබෙනවා. ඒ ඔහු කරන්නට යන අලුත්ම විධියක වැඩක් නිසයි.

ඔහු අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූපගත කිරීමට සූදානම් වන බවයි සඳහන් වෙන්නේ. අභ්‍යවකාශය පසුබිම් කරගත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ආදිය කොතෙකුත් නිර්මාණය වුණත් ඒවා රූපගත කරන්නේ සැබෑ අභ්‍යවකාශයේ නොවෙයි. පෘථිවියේම ඇති චිත්‍රාගාර තුළයි. මේ නිසා ටොම් කෘෘස් සැබෑ අභ්‍යවකාශයේ චිත්‍රපටයක් රූපගත කිරීම අපූරු අත්දැකීමක් වනු ඇති අතර ඒ ගැන මේ වනවිට විශාල කතාබහක් ඇති වී තිබෙනවා. ටොම් කෘෘස් මෙහි රඟපානවා විතරක් නොවෙයි ඔහු එහි නිෂ්පාදනයටත් සම්බන්ධයි.

චිත්‍රපටය රූප ගත කරනු ඇත්තේ පෘථිවියේ සිට කි.මී. 400ක් පමණ ඉහළින් පෘථිවිය වටා ගමන් කරමින් තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) නමින් හැඳින්වෙන අභ්‍යවකාශ පර්යේෂණාගාරයේයි. මෙය ඇමෙරිකාවේ නාසා ආයතනය, රුසියාවේ රොස්කොස්මොස් ආයතනය, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය ඇතුළු අභ්‍යවකාශ ආයතන කිහිපයක් විසින් පවත්වාගෙන යනු ලබන්නක්. ටොම් කෘෘස්ගේ මෙම චිත්‍රපටය සඳහා නාසා ආයතනයද සම්බන්ධ වන බව පැවැසෙනවා. කෘෘස්ගේ බොහෝ චිත්‍රපට මෙන්ම මෙයද වේගවත්, ක්‍රියාදාම චිත්‍රපටයක් වනු ඇති බව මාධ්‍ය සඳහන් කර තිබුණා. චිත්‍රපටයේ කතා රචකයා මෙන්ම අධ්‍යක්‍ෂවරයාද වන ඩග් ලිමන් මේ වනවිට එහි මූලික තිර රචනය අවසන් කර ඇති බවත් සඳහන්. නමුත් එහි කතාව කවර ආකාරයේ එකක්ද යන්න ගැන තවමත් කිසිවක් මාධ්‍ය වෙත අනාවරණය කර නැහැ. ප්‍රේක්‍ෂකයන්ගේ කුතුහලය රඳවා ගැනීම සඳහා එය රහසක් ලෙස තබාගෙන සිටිනවා විය හැකියි.

Giraya News Alerts

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති විශේෂත්වයක් වන්නේ වෘත්තීය අජටාකාශගාමීන්ට පමණක් නොව සාමාන්‍ය අයට පවා අභ්‍යවකාශ සංචාරකයන් ලෙස එහි යෑමට හැකි වීමයි. නමුත් ඒ සඳහා විශාල ගාස්තුවක් ගෙවීමට හැකියාව තිබිය යුතුයි. 2001 වසරේ මුලින්ම එහි ගිය සංචාරකයා එම ගමන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් (ලංකා රුපියල් කෝටි 400ක් පමණ) ගෙවා ඇති බව සඳහන්. යම් හෙයකින් මෙම චිත්‍රපටයේ වැඩ ආරම්භ වුවහොත් අභ්‍යවකාශයට යන පළමු සිනමා නළුවා ටොම් කෘෘස් බවට පත් වනු ඇති.

චිත්‍රපටයේ රූගත කිරීම් කවදා ආරම්භ වේවිද යන්න ගැන තවම සඳහනක් නැහැ. මේ වනවිටත් ටොම් කෘෘස් ඔහුගේ Mission Impossible චිත්‍රපට මාලාවේ 7 වැනි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කර තිබෙනවා. නමුත් කොරෝනා වසංගතය පැතිරෙන්නට පටන් ගැනීම නිසා එම කටයුතු අතරමඟ නතර කිරීමට සිදු වුණා. මීට ටික කලකට පෙර එහි දර්ශන පෙලක් ඉතාලියේ රූපගත කිරීමට නියමිතව තිබුණා. නමුත් ඉතාලිය ඉතා දරුණු ආකාරයෙන් වෛරසයට ගොදුරු වීමට පටන් ගත්තේ එම කාලයේයි. ඒ නිසා කෘෘස් ඇතුළු කණ්ඩායමට එහි රූපගත කිරීම් කල් දැමීමට සිදු වුණා. එම කටයුතුත් නැවත පටන් ගන්නේ කවදාද යන්න තවම තීරණයක් නැති බවයි පැවැසෙන්නේ. ඉහත කී අභ්‍යවකාශ චිත්‍රපටයේ කටයුතු අරම්භ වනු ඇත්තේ එයින් පසුවයි.

ඔහු ගේ චිත්‍රපට අතරින් අවසන් වරට තිරගත වුණේ Mission Impossible: Fallout නමැති චිත්‍රපටයයි. එය ප්‍රදර්ශනය වූයේ 2018 වසරේයි. එයින් පසු ඔහු රඟපෑ Top Gun: Maverick නමැති චිත්‍රපටයේ වැඩ අවසන්ව ඇති අතර එය දෙසැම්බර් 23 වැනි දින සිට ප්‍රදර්ශනය වීමට නියමිතයි. නමුත් එය වුවද අවසන් වශයෙන් තීරණය වනු ඇත්තේ කොරෝනා වසංගතයේ තත්ත්වය අනුවයි. පසුගිය කාලයේ තිරගත වීමට නියමිතව තිබූ අලුත් චිත්‍රපට රැසක් නියමිත ආකාරයෙන් තිරගත කිරීමට නොහැකි වූ බව රහසක් නොවෙයි. අප්‍රේල් මාසයේ ප්‍රදර්ශනය කිරීමට තිබූ අලුත්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන No Time to Die සිනමාපටයද නොවැම්බර් දක්වා කල්දමා තිබෙනවා.

Top Gun: Maverick අමෙරිකානු ඩොලර් මිලියන 152ක් වැය කර නිපද වූ චිත්‍රපටයක්. එය සැලකෙන්නේ 1986 වසරේ තිරගත වූ Top Gun චිත්‍රපටයේ දෙවැනි කොටස හැටියටයි. ටොම් කෘෘස්ගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට දායක වූ චිත්‍රපට අතර Top Gun චිත්‍රපටයට ප්‍රධාන තැනක් හිමිවෙනවා.

-මව්බිම-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top