Advertise with Giraya
NEWS

අළුත්ගම සිදුවීමට පොලීසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

අළුත්ගම දර්ගා නගරයේ මාර්ග බාධකයක් අසලදී මන්දමානසික ආබාධ සහිත දරුවෙකුට පොලීසිය විසින් පහර දීමක් සිදු කළා යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරිමට කළුතර පොලිස් අධිකාරිවරයා විසින් නියෝග කර තිබෙනවා. එයට හේතු වී තිබෙන්නේ මේ වන විට සිදු කරන ලද විමර්ශනවලට අදාළව පොලිසිය විසින් පහරදීමක් සිදු කර නොමැති බවත් ඔවුන් තිදෙනා අතින් රාජකාරී පැහැර හැරීමක් සිදුව ඇති බවට අනාවරණය වීමත් සමඟය.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ කළුතර පොලිස් විද්‍යාලයට අනියුක්තව රාජකාරි කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් හා අළුත්ගම පොලිසියට අනියුක්තව සේවය කරනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකි. උප පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා විශේෂ රාජකාරි පදනම්ව මෙම සිදුවීම වූ මාර්ග බාධකයේ එදින රාජකාරී කොට ඇත.

එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් නිලධාරින් විසින් දුන් අණ නොතකා පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවත්වා ගැනීමට නිලධාරින් කටයුතු කිරීමේදී ඔහු ඉතා උස් හඩින් කෑ ගසමින් පැන දුවන්නට තැත් කොට ඇති බවයි.

එහිදී පොලිස් නිලධාරින් විසින් පා පැදිකරු මෙල්ල කර ගැනීමට කටයුතු කර ඇති බවත් පැමිණි තවත් පුද්ගලයෙකු විසින් එම පාපැදිකරු මන්ද මානසික රෝගයකින් පෙළෙන අයෙක් බව පවසා ඔහුගේ පියා දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බව දැනුම් දී ඇත.

ඒ අනුව, පොලිසිය විසින් පාපැදිකරුගේ පියාව එම ස්ථානයට කැඳවා ගෙන ඔහුත් සමග අලුත්ගම පොලිසියට රැගෙන යාමට කටයුතු කර ඇත. එහිදී සිය දරුවා තමන්ට ද නොදන්වා ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේදී නිවසින් පිටතට ගොස් ඇති බවට පියා විසින් පොලිසියට පවසා ඇත.

ඒ අනුව පාපැදිකරුගේ පියාගෙන් පොලිසිය විසින් ප්‍රකාශයක් ද සටහන් කර ගෙන ඇත.

හොදින් හැඳි වැඩි ඇති මෙම පාපදිකරු මානසික රෝගීයෙක් බවට පොලිසිය විසින් පළමුව හඳුනා ගෙන නොමැති අතර ඔහු ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පියා ගෙන් අනාවරණය කරගත් කරුණු අනුව රඳවා තබා ගැනීමක් හෝ අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමකින් තොරවම ළමයාව පියා වෙතට භාර දීමට පොලිසිය පියවර ගෙන ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top