Advertise with Giraya
NEWS

රජසමයෙන් පසුව ප්‍රථම වරට රාජ්‍ය පොසොන් උත්සවයක් නම් කරලා සමරන්නේ අදයි

රජසමයෙන් පසුව රාජ්‍ය පොසොන් උත්සවයක් ප්‍රකාශයට පත් කර සමරනු ලබන ප්‍රථම අවස්ථාව මෙවර පොසොන් උත්සව දිනය බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. මීට පෙර අවස්ථාවන්වලදී පොසොන් දිනය සමරනු ලැබූවද එය රාජ්‍ය රාජ්‍ය උත්සවයක් ලෙස නම් කර සමරනු ලබන්නේ අද දිනයේ බව අගමැතිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) දිනයේ දී ලේක්හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව සහ රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් මිහින්තලා පූජා භූමියේදී පැවැති උත්සවය අමතමින් ය. එහිදී මිහින්තලා විදුලි ආලෝක පූජාවේ පළමු දිනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඒකාලෝක විය.

එසේම, පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් බවට පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තුතිය පළ කළ යුතු බව ද අගමැතිවරයා කියා සිටියේ ය.

Giraya News Alerts

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

“හාමුදුරුවනේ මම නිවැරදියි නම් මේක තමයිරජ කාලයෙන් පස්සේ රාජ්‍ය පොසොන් උත්සවයක් පවත්වන පළමු වැනි අවස්ථාව. මීට කලින් පොසොන් උත්සව පවත්වලා තිබුණත් රාජ්‍ය උත්සවයක් ලෙස නම් කරලා සමරනු ලබන්නේ අදයි. ඒ පිළිබඳ ජනාධිපතිතුමන්ට අපගේ ගෞරවය පිරිනමන්න ඕනේ.”

මිහිඳු මහ රහතන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාට සහ උන්වහන්සේගේ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව රාජ්‍ය පොසොන් උත්සවය නිල වශයෙන් ආරම්භ විය. ඩී.ආර් විජේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව 1962 වර්ෂයේ සිට අඛණ්ඩව 58 වන වරටත් පැවැත්වෙන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ආලෝකමත් වූ අතර, මෙවර ලංකා විදුලිබල මණ්ඩලය එහි සම දායකත්වය දරනු ලැබීය. රාජ්‍ය පොසොන් උත්සවය අමතා අනුශාසනා දේශනාව සිදු කළ මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පනස් වසරක දේශපාලන දිවියට සහ ලෝකවාසී සියලු ජනතාවට ආශීර්වාද එක් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, එස්.එම් චන්ද්‍රසේන, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්, අනුරාධපුර මහදිසාපති ආර්.එම් වන්නිනායක, බුද්ධශාසන සහ සංස්කෘතිත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර, ලේක් හවුස් ආයතනයේ සභාපති නීතීඥ ඩබ්ලිව් දයාරත්න ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top