ලොව පුරා කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන හැටපන්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. worldometers.com වෙබ් අඩවියේ දත්ත වාර්තා අනුව මේ වන විට ලොව පුරා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 6,573,540ක් වේ. මරණයට පත් වූ සංඛ්‍යාව 388,041ක් වේ. සුවය ලැබූ ගණන 3,170,505ක් වේ.
මේ අතර, ‘ද වොෂින්ටන් පෝස්ට්’ වෙබ් අඩවිය විසින් ජාත්‍යන්තර හෙද සම්මේලනය නිකුත් කරන ලද නවතම වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ ලොව පුරා අවම වශයෙන් කොරෝනා වෛරසය ආසාදිත වු සෞඛ්‍ය අංශයේ සේවකයින් 450,000ක් සිටින බවයි.
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන්නේ බ්‍රසීලයට ය. ඇමරිකා එක්සත් ජනපදයට පසුව වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙන් ය. ගත වූ පැය 24 තුළ දී පමණක් එරටින් රෝගීන් 27,312ක් වාර්තා වී ඇති අතර රෝගීන් 1269 දෙනෙකු මරණයට පත් වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රසීලයේ නගරවලින් ඈත් ව පිහිටි ගම්මානවලටත් මේ වන විට රෝගය පැතිර ගොස් ඇති අතර රෝගය වැළඳුන පුද්ගලයින්ට ඒ හේතුවෙන් රෝහල් කරා ළඟා වීමට අපහසු වී ඇත. මේ වන විට බ්‍රසීලයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 583,980ක් වන අතර එයින් 32,547 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
ලොව වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 1.9 ඉක්මවා තිබේ. ගත වූ පැය 24 තුළ දී පමණක් රෝගීන් 20,578ක් වාර්තා වී තිබේ. රෝගීන් 1083ක් මියගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකාවේ මිය ගිය සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 109,142ක් වේ. සුවය ලැබූ ගණන 688,6්70කි.
ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ රෝගීන් 9633ක් වාර්තා වී ඇත. ආසියානු කලාපයේ වේගයෙන් කොරෝනා වෛරසය පැතිරෙන රටක් ලෙස ඉන්දියාව ලොව වැඩිම දෛනික රෝගින් වාර්තා වූ රටවල් අතර තෙවැනි තැනට පත් වී තිබේ. ඊයේ දිනයේ දී ඉන්දියාවෙන් වාර්තා වූ මරණ ගණන 259ක් වේ. දැනට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 216,824ක් වේ. මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 9633ක් වේ.
ඉන්දියාවට පසුව වැඩිම රෝග ව්‍යාප්තියක් පෙන්වන රට වන්නේ රුසියාවයි. රුසියාවේ ගත වූ පැය 4 තුළ දී රෝගීන් 8536 දෙනෙකු වාර්තා වී ඇති අතර ආසාදිත පුද්ගලයින් 178 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. රුසියාවේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 432,277ක් වන අතර එම රෝගීන්ගෙන් 195,957 දෙනෙකු සුවයට පත් වී ඇත. රුසියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 5215කි.
ඉන්දියාවේ අසල්වැසියා වූ පකිස්ථානයෙන් ද මේ වන විට සීඝ්‍ර රෝග ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර ගත වූ පැය 24 තුළ දී රෝගීන් 4065 දෙනෙකු වාර්තා වී තිබේ. පකිස්ථානයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 80,463ක් වන අතර මියගොස් ඇති ප්‍රමාණය 1688කි.
වරෙක කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ යුරෝපයේ ඊයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ එක්සත් රාජධානියෙන් වන අතර එය 359 කි. වාර්තා වී ඇති රෝගීන් ගණන 1871කි. එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 39,728 ලෙසයි. සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 279,856ක් වේ.
වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් ඊයේ (03) දිනයේ දී අලුතින් හඳුනා ගැනුනේ එක් ආසාදිතයෙකු පමණි.
