හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න මෙන්ම අර්ජුන රණතුංග යන අයගේ උවමනාව මත ඇවන්ගාඩ් ආයතනය යහපාලන ආණ්ඩුව විසින් අත්තනෝමතික අන්දමින් පැහැර ගැනීමේ උත්සාහයක නිරත වූ බවට නිශ්ශංක සේනාධිපති මහතා අද (03) අනාවරණය කළේ ය. ඒ, තෙවැනි දිනයටත් අද (03) දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ය.
සාක්ෂි දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිශ්ශංක සේනාධිපති පැවසුවේ අර්ජුන රණතුංග හිටපු මන්ත්‍රිවරයා ලේකම්වරයෙකු මාර්ගයෙන් ඇවන්ගාඩ් සමාගම පැහැර ගැනීම සඳහා ඩීල් දැමීමට සූදානම් වූ බවයි. ඒ සිද්ධියට අදාළව හඬ පට තමන් ළඟ තිබෙන් බැවින් එය ඔප්පු කිරිමට තමන් ඕනෑම අවස්ථාවක දී සූදානම් බවත් ඔහු පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු “මම දැක්කා අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසලා තියෙනවා රක්නා ලංකා එකෙන් රු.මිලියන 1000කුත් නාවික හමුදාවෙන් රු. මිලියන 600කුත් දිය යුතුයි කියා. ඔහු සැඟවු කාරණය තමයි ඊට ප්‍රථමව නාවික හමුදාවෙන් අපි ඉල්ලලා තියෙන අලාභය රු. මිලියන 2800ක්.
දෙවැනි කාරණය තමයි මෙම ආයතනය අර්ජුන රණතුංග මහතා ඔහුගේ ලේකම්වරයෙක් හරහා පැහැර ගැනීම සඳහා කටයුතු කළ ආකාරය මම ඔප්පු කරලා පෙන්නන්නම්. මං අභියෝග කරනවා හිටපු ක්‍රිකට් කැප්ටන්ට කොන්ද පණ තියෙනවා නම් ඕනෑම විද්‍යුත් නාලිකාවකට එන්න කියලා. විනාඩි පහකින් මං මේ දෙන අභියෝගය ඉවර කරලා දානවා. ඊට අමතරව, මිනිසුන් ඇන්දීමේ කලාවේ පිකාසෝ පච රණවක නොහොත් පාඨලී චම්පික රණවක හෙංචයියන් ලවා මුදල් කප්පම් ඉල්ලා කටයුතු කළ ආකාරය මම ඊළඟ දවසෙ කටඋත්තර දවසෙ දාලා පෙන්නනවා.
මේ පාදඩ දේශපාලනේ නිරත වුන ජවිපෙ නඩය අනුර කුමාර ඇතුළු හත්දෙනාට එන්න කියන්න මම තනියෙන් විනාඩි 10ක් ඇතුළත දී මේකේ නීත්‍යානුකූලභාවය පෙන්නලා ඔවුන් කරපු සියළු දේ බොරු දේවල් බව මම මේ රටට ඔප්පු කරලා පෙන්නවා. තුට්ටු දෙකේ පාහර දේශපාලඥයින් මේ රටෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි” යැයි පැවසුවා.
තවද, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු අනාවරණය කර තිබූනේ රතු මුහුදේ වාණිජ නෞකාවන්ට ආරක්ෂාව සැපයීම සදහා පිටත්ව ගොස් තිබූ එම්.බී. ඇවන්ගාඩ් නෞකාව 2015 සැප්තැම්බර් මාසයේදී ගාලු වරායට ගෙන්වා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා සිටි බවයි.
එහි අවි ගාරයේ තිබූ ගිනි අවි 816 ක් ද රැගෙන අදාල නෞකාවට ගාලු වරාය වෙත පැමිණිමට එවකට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අවසර ලබාදුන් බව තහවුරු කෙරෙන ලේඛනයක් ද සේනාධිපති මහතා කොමිසමට භාරදුන්නේය.
එලෙස අවසරයක් මත ගාලු වරාය වෙත යාත්‍රා කරමින් තිබූ නෞකාව 2015 ඔක්තෝබර් මස 5 වනදා නාවික හමුදාව විසින් වටලා පරීක්ෂා කර 6 වනදා උදෑසන අත්අඩංගුවට ගත් බවද ඔහු පවසා සිටියේය.
ගිනි අවි සහ නෞකාව ගාලු වරායට ගෙන ඒම සදහා සහය දෙන ලෙස එවකට ආරක්ෂක ලේකම්වරයා ලබාදී තිබූ නියෝගය නොතකමින් නාවික හමුදාව 5 වරක්ම නෞකාවේ තිබූ ගිනි අවි ගණනය කළ අතර එසේ කළේ කිසියම් වරදක් සොයාගැනීමේ අරමුණින් බව ද ඇවන්ගාඩ් සභාපතිවරයා මෙහිදී සදහන් කර තිබේ.
එහිදී කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් නොතකා කටයුතු කිරීම නාවික හමුදාව එවක පැවති රජයට නිග්‍රහයක් සිදුකර ඇති බවයි.
හමුදාවක් විසින් ආරක්ෂක අමාත්‍යාංශයක උපදෙස් අනුව ක්‍රියා නොකිරීම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් ලෙස අර්ථකතනය කළ හැකි බව ද කොමිසමේ සභාපතිවරයා සදහන් කර තිබේ
සම්බන්ධිත පුවත්
- මාව ඝාතනය කරන්න දැරූ උත්සාහයට රාජිත සේනාරත්නත් සම්බන්ධයි – ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති
- ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් සභාපති කළ හෙළිදරව්ව
