Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ජනපතිගේ සැර කතාවෙන් පසු බන්ධනාගාරවල ඉහළ තනතුරුවල වෙනසක්

බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක වන මැර කල්ලි මෙහෙයුම් හා අපරාධ නතර කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට නොහැකි වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් පෙරේදා දිනයේ දී පැවති සාකච්ඡාවක දී බන්ධනාගාර කටයුතු දැඩි විවේචනයට ලක් කරනු ලැබීය.

එහිදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ මෙම කටයුතු නතර කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කඩිනමින් ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බවයි. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් තනතුර හා බන්ධනාගාර කොමසාරිස් – පාලන යන තනතුරු දෙකම ඉදිරියේ දී වෙනස්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම තනතුරු දෙකටම පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ පරිපාලන නිලධාරින් පත් කර තිබුණු අතර පෙරේදා (01) පැවති සාකච්ඡාවේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර සඳහා සිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පත් කරන ලෙසටද බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඉල්ලීමක් ද ඉදිරිපත් විය.

Giraya News Alerts

මේ පිළිබඳව, බන්ධනාගාර කොමසාරිස් – පාලන තනතුරේ රාජකාරී කරන බන්දුල ජයසිංහ සඳහන් කරන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් තමන් නිදහස් කරන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්ගෙන් තමන් ඉල්ලීමක් සිදු කර ඇති බවයි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුර සදහා නිලධාරියෙකු පත් කළ යුත්තේ කැබිනට් මණ්ඩලය විසින් ය. එම තනතුර සදහා මේ වනවිට බන්ධනාගාර කොමසාරිස් තනතුරේ රාජකාරී සිදුකරන තුෂාර උපුල්දෙණිය පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

පසුගිය ජුනි මස 01 වනදා පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ‘කුඩු ගේන්නේත්, පාතාල වැඩ කරන්නේත්, ත‍්‍රස්තවාදී වැඩ කරන්නේත් බන්ධනාගාරේ ඇතුළේ ඉඳන්. බන්ධනාගාරේ කරන්න එපා කියන හැම දෙයක්ම වෙනවා. එනිසා බන්ධනාගාරේ හැමෝටම මම කියන්නේ කවුරු යාළු වුණත් තරහ වුණත් ප‍්‍රශ්නයක් නැහැ. මේවා නතර කරන්න. ඒගොල්ලෝ හැදුණේ නැති වුණොත් මම හදනවා’ යැයි පවසමින් බන්ධනාගාර නිලධාරීන් වෙත රතු එළියක් දැල්වූයේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ජනතාව අතර තියෙන මතය බොහෝම නරකයි. සමහර අය අහනවා මේ බන්ධනාගාර තියෙන්නේ මොකටද? වහලා දාන්න කියලා. මේක හැදෙන්න ඕන. දැන් බැලූවොත් මේක අලූත් දෙයක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සේ තියෙන දෙයක්. නමුත් මේක හැදෙන්න නේ ඕන. නැත්නම් මේක කරන්න බැහැ. සමාජයේ වැදගත් එක්තරා ආයතනයක්. වැරදි කළාට පස්සේ යන්නේ මෙතැනට. එතනදී හරියට මේක වෙන්නේ නැත්නම් එතන විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. සමහර වේලාවට මේකට අත ගහන්නේ නැතුව ඇති. නමුත් මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක.

මම වෙන දේවල් බලන්නේ නැහැ. මට ඕන ඒක කරන්න. ඉතින් මම ඒක අනිවාර්යයෙන් කරනවා. කවුරු තරහා වුණත්, කවුරු යාළු වුණත් ඒක මට ප‍්‍රශ්නයක් නැහැ. ඒක කරලම තමයි මම නවතින්නේ. ඒක නිසා මං මේ බන්ධනාගාරේ හැමෝටම කියන්නේ මට ප‍්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ හැදුනේ නැති වුණොත් මං හදනවා.

මොකද කුඩු ගෙන්නන්නේ බන්ධනාගාරේ ඇතුළේ ඉඳලා. පාතාලේ වැඩ කටයුතු කරන්නෙත් බන්ධනාගාරේ ඇතුළේ. ත‍්‍රස්තවාදී ව්‍යාපාර කටයුතු කරන්නෙත් බන්ධනාගාරේ ඇතුළේ ඉඳලා. බන්ධනාගාරේ කරන්න එපා කියන හැම දෙයක්ම වෙනවා. බන්ධනාගාරේට කියන්නේ හැදෙන්න කියලා. ජනතාවට අවශ්‍ය ඒක. රටට අවශ්‍ය ඒක. මේක විහිළුවක්නේ. ටෙලිෆෝන් ඇතුළේ තියෙනවා. කුඩු ඇතුළට ගෙනියනවා. අවි ආයුධ ඇතුළට ගෙනියනවා. සැලසුම් කරන්නේ ඇතුළේ ඉඳලා. මේක විහිළුවක්නේ. අපිට මුහුණ දෙන්න පුළුවන් ද එහෙම තත්ත්වයකට. මට ඕන මේක හරි විදියට ක‍්‍රියාත්මක වෙන්න. තමන්ට අයිති වැඬේ කරන්න බැරි මොකද. ටෙලිෆොන් එකක් ඇතුළට ගෙනියන එක වළක්ව ගන්න බැරිද? එහෙම නම් වැඩක් නැනේ ඕගොල්ලන්ගෙන්. සේවයේ ඉඳලා කමිෂනර් වෙන්න ඕන කිව්වට වැඩක් නෑනේ. ඕගොල්ලෝ කතා කරන්න දැන්. ඔයාලනේ දෙපාර්තමේන්තුවේ ඉන්න ඉහළම කට්ටිය. කොහොමද මේක ඇතුළේ ඉඳලා ඕපරේෂන්ස් කරන්නේ. අල්ල ගෙන හිරේ දාලා ඉන්න මිනිස්සු පාතාලේ වැඩ කරන්නේ එතැන ඉඳලා. ඊළඟට කුඩු ගේන එක කරන්නේ එතැන ඉඳලා. ඇයි ඕගොල්ලොන්ට ඒක නවත්තන්න බැරි. මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්නයක් නේ.

මං මේ කතා කරන්නේ කොහොමද තමන් ආත්ම ගරුත්වයක් ඇතුව හෘද සාක්ෂියට විරුද්ධ වෙන්නේ නැතුව කුඩුකාරයකුට මේක කරන්න දෙන්නේ කොහොමද? පාතාලේ නායකයකුට මේක කරන්න දෙන්නේ කොහොමද? මම අහන්නේ අන්න ඒවා. ඉතින් ඕගොල්ලොන්ට පැහැදිලිවම යම්කිසි කාර්යයභාර්යක් ඉටුකරන්නට ඒ පහළ මට්ටමේ ඉඳලා මේක තේරුම් කරලා දීලා මොකද මේ විදිහට ඇත්තටම අපිට යන්න පුළුවන් කමක් නැහැ.

අපේ පොලිසිය කඩා වැටිලා නම් බන්ධනාගාර කඩා වැටිලා නම් කොහොමද අපි නීතිය තියෙන රටක් හදන්නේ. අපිට කරන්න පුළුවන් කමක් නැහැ. හැම කෙනෙක්ම ඒ ආයතනයක සාමාජිකයෙක් හැටියට ඉන්නවා නම් ඒ කාර්ය තේරුම් ගන්න ඕන. බන්ධනාගාර සේවයේ තමන් ඉහළම නිලධාරියෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ ඒ බන්ධනාගාර සේවයෙන් ගෞරවනීය සේවයක් ජනතාව බලාපොරොත්තු වෙන සේවය දෙනවා නම් පමණයි. නැත්නම් ඒක කියන්න බෑනේ. එහෙම කියන්න පුළුවන් තත්ත්වයකට අද බන්ධනාගාර සේවය නැහැ. ඉතින් එතැනට මේක ගේන්න ඕන. කමිටුවක් හදලා මේක ප‍්‍රතිසංස්කරණය කරන වැඩපිළිවෙළක් හරිගස්ස ගන්න.

එතකොට පුහුණුවීම් කරන එකද මේ සියල්ලක්ම හොඳ අය තෝරගන්න එකද අනිත් එක මට ප‍්‍රශ්නයක් නැහැ දේශපාලනය. දේශපාලනය නෙවෙයි මෙතැන වැදගත්කම. රාජකාරිය කරන එක. හරි දේ කරන එක. ඒකයි මෙතැන අවශ්‍යතාවය. ඉතින් ඒක නිසා හොඳ නිලධාරීන් ඉන්නවා කියලා කවුරුත් කියනවානේ. ඒ හොඳ නිලධාරීන්ට කරන්න පුළුවන් වෙන විදියට වැරදි නිලධාරීනුත් හදාගන්න. එහෙම හදන්න බැරි කොටසක් ඉන්නවා නම් ඒ ගොල්ලොන්ට පඩි දීලා වෙනම සංචිතයකට දාලා පැත්තකට කරලා තියන්න.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top