ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු අද (02) සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කරයි.
මහා මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ නිල දැනුම්දීම මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයාධිපති වෙත පසුගිය මැයි මස 27 දා නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතු ව නිකුත් කර ඇති එකී දැනුම් දීමේ ලිපිය මඟින්, මුද්‍රණය කළ යුතු සාමාන්‍ය ඡන්ද පත්‍රිකා සහ ද්විත්ව ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව පිළිබඳව මුද්‍රණාලයාධිපතිවරයා දැනුම්වත් කර ඇත.
එකී දැනුම්දී ම කර ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙත අනුව බවත් එය මැතිවරණයට පූර්ව සූදානම් වීමක් බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, මැතිවරණය පැවැත්වීම ගැන දින වකවානු තීරණය වන්නේ අධිකරණයේ විභාග වන නඩුවෙන් පසු ලැබෙන තීන්දුව අනුව බව ද සමන් ශ්‍රී රත්නායක මහතා පසුගියදා පැවැසීය.
අද (02) දින පස්වරුවේ එම නඩුවේ තීන්දුව ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහමැතිවරණයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලදී.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් එක්කෝටි හැටනවලක්ෂයක් සුදුසුකම් ලබා සිටිති. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසුව මුද්‍රණ කටයුතු අරඹන බවද මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කොවිඩ් 19 වෛරස තත්ත්වයට පෙරදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය එකම අංශයක සිදුවූවත් මෙවර ඒ සඳහා අංශ කීපයක් යොදා ගැනීමට නියමිතය. ඒ අනුව, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ශාඛා තුනක දී සිදු කෙරෙන අතර එම ස්ථාන සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ කිසිවකු ඇතුළු නොකිරීමට රජයේ මුද්‍රණාලයේ පාලනාධිකාරිය මැයි මස 29 වැනිදා සිකුරාදා තීරණය කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම, මුද්‍රණ කටයුතුවලදී පෙරට වඩා ආරක්ෂාව වැඩි කෙරෙනු ඇත. මෙයට එක් හේතුවක් වී තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් මහතා නිරෝධායන නීති කඩ කරමින් මැතිවරණ මහ ලේකම් කාර්යාලය තුළ ක්‍රියා කිරීම ගැන රජයේ මුද්‍රණාලයේ සේවකයන් නොසතුට පළ කිරීමයි. එම නිසා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ යමකු රජයේ මුද්‍රණාලයේ ශාඛාවට පැමිණීම ගැන රජයේ මුද්‍රණාලයේ සේවකයන් දැඩි විරෝධය පළ කරන බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව එම ශාඛා 3 වෙත මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ කිසිවකු ඇතුළු කිරීමට ක්‍රියා නොකරන බවත් වාර්තා වේ.
සාමාන්‍යයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන විට ඊට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා මීට පෙර මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පැමිණි බවත් නමුත් මතුවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන එම නිලධාරීන්ට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා ශාඛාවට පිටතින් කාර්යාල කාමරයක් ස්ථාපිත කරන බව රජයේ මුද්‍රණාලයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
කුමන හෝ ආකාරයකින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම වැළැක්වීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවිය හැකි බවට පවතින බරපතළ සැකය නිසා රජයේ මුද්‍රණාලයේ පොලිස් ආරක්‍ෂාව වැඩි කිරීමට තීරණය කර ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කරයි.
මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් දැඩි ලෙස අනුගමනය කරමින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ මූලික කටයුතු 29 වැනිදා සිකුරාදා ආරම්භ කළ බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අඛණ්ඩව දින 15ක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවත් 500කගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඊට එක්වන බවත් රජයේ මුද්‍රණාලය වාර්තා කරයි.
