Advertise with Giraya
FEATURES

අභාවප්‍රාප්ත වූ හිටපු ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාගේ ඔබ නොදත් ජීවිත කතාව

හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාෂල් පෙරේරා මහතා පසුගිය මැයි මස 30 වන දින අභාවප්‍රාප්ත විය. වසර 50කට අධික කාලයක් නීතීඥ ධූරයේ මෙන්ම ඌව, සබරගමුව හා දකුණ යන පළාත්වල ආණ්ඩුකාර ධූරය ඉසිලූ මාෂල් පෙරේරාගේ ජීවිත කතාව පිළිබඳව ‘දිනමිණ’ පුවත්පතේ පළ වූ වාර්තාවක් පහතින් දැක්වේ.

පළාත් තුනක් නියෝජනය කළ හිටපු ආණ්ඩුකාරවරයෙක්, ජනාධිපති නීතිඥවරයෙක් සිය 89 වසරක් ගෙවූ ජිවිතයෙන් සමුගෙන ඇත. ඒ නොබෝදා සිය ජිවිතයෙන් සමුගත් මාෂල් පෙරේරා මහතා ගැන බොහෝ දෙනා ලියනා සටහනකි. එහෙත් 89 වරක් ගෙවූ මේ මිනිසා ඊට වඩා වෙනස් මිනිසෙකි. වෙනස් ජිවිතයක් ගෙවූ අයෙකි.

මාෂල් පෙරේරා උපදින්නේ කළුතර ප්‍රදේශයේ යමක් කමක් ඉතා යහමින් තිබූ පවුලක බාලම දරුවා ලෙසිනි. ඒ 1932 මැයි 29 වෙනිදාය. ඔහුගේ පියා එවකට කළුතර ප්‍රදේශයේ ප්‍රකට පුද්ගලයෙකු වූ ඇල්බට් රෝමානිස් පෙරේරාය. මව මේරි මාගරට් සුවාරිස්ය. ඒ පවුලේ වැඩිමහල්ලා පිරිමි දරුවෙකි. හේ ඇන්ටනී ය. දෙවැන්නා ගැහැණු දරුවකු වූ සෙලින් ය. තෙවැන්නා ජෝශප් ය. සිව්වැන්නා මාකස් වූ අතර පවුලේ බාලයා අප කතානායක මාෂල් පෙරේරා ය. මේ දරුවන් පස් දෙනුගෙන් යුත් පවුලේ තිදෙනෙකුම නීතිඥවරුය. ඇන්ටනී, සෙලින් සහ මාෂල් යන නීතිඥවරු තිදෙනා දන්නා තරමට ශ්‍රී ලංකා නීතිඥ වෘත්තියෙහි වාර්තාවකි. ඒ එකම පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකු වසර 50ක් පුරා නීතිඥ වෘත්තියෙහි නිරතව ඇත්නම් ඒ මේ තිදෙනාය වීමේ වාර්තාව යි.

මේ ඉතිහාස කතාව සටහන් කළ යුතුම වන්නේ සිය දිවියෙන් සමුගෙන යන මාෂල් පෙරේරා මහතා කෙබඳු පුද්ගලයෙකුදැයි කීමට මේ ඉතිහාස කතාව වැදගත් වන නිසාවෙනි.

සැපට හැදී වැඩුණු මාෂල් කුඩා කළ පාසල් ගියේ ආවේද සිය පියාගේ අශ්ව ගාලේ හුන් අසුන් බැදි කරත්තයෙනි. එහෙත් නවයෞවන වියේදී හේ සිය ජීවිතය ලෙස තෝරා ගත්තේ සිය පෞද්ගලික ජිවිතයට ඉඳුරාම වෙනස් වූ මාවතකි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාමන්ශිකයෙක් විය. සිය දේශපාලන පක්ෂය ලෙස එවකට මෙරට දැවැන්තම වාමාංශික දේශපාලන පක්ෂය වූ සම සමාජ පක්ෂය තෝරා ගත්තේය. තරුණ මාෂල් පෙරේරාගේ මේ තෝරාගැනීමත් සමඟ ඔහු ‘සමසමාජ කාරයෙක්’ විය.

ජිවත් වීමට සිය පියාගේ දේපළ වත්කම් තිබුණද ‘සමසමාජ කාරයෙක්’ වූ මාෂල් පෙරේරා තරුණයා නීති විද්‍යාලයට පිවිසියේය. සිය සමකාලීනයෙකු වූ වත්මන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් සමඟ නීතිය හැදෑරු ඔහු සිය නීති අධ්‍යනය අවසානයේ සිය පක්ෂය වූ සම සමාජ පක්ෂයේ අවශ්‍යතාව මත රත්නපුර අධිකරණයට අදාළව මාස අටක පමණ කෙටි කාලයක් නීතිඥයකු සේ රාජකාරී කර තිබිණි. එම කාලය තුළ රත්නපුර වාමාංශික දේශපාලනයේ තවත් නියෝජිතයන් දෙදෙනෙකුද වූහ. වාසුදේව නානායක්කාර සහ සරත් මුත්තෙට්ටුවේගම ඒ දෙදෙනාය. ඒ දෙදෙනාත් නීතිඥයවරු ය. එම හේතුව නිසා සම සමාජ පක්ෂ විසින් මාෂල් පෙරේරාට දේශපාලන වැඩ සඳහා රත්නපුරයෙන් බදුල්ලට යන ලෙස දැන්විය. ඒ ඒවන විටත් බදුල්ලේ සමසමාජ නියෝජිතයා වූ ජැක් කොතලාවල ට සහය වීමටය. පක්ෂය කියන්නාක් කිරීමට ඇති දේශපාලන නිහතමානි කම නිසාත් එවකට සම සමාජ දේශපාලනයේ භාවිතාව නිසාත් තරුණ නීතීඥ මාෂල් පෙරේරා කඩිනමින් බදුල්ලට ගොස් තිබේ.

50 දශකයේ අග සම සමාජ පක්ෂයේ ජැක් කොතලාවලට ආධාර කරන්න බදුල්ලට ගිය තරුණ නීතිඥයා සිය බෝඩිම ලෙස තෝරා ගත්තේ එවකට බදුල්ලේ ගුරුවරියකගේ මවක් විසින් පවත්වාගෙන ගිය බෝඩිමකි. ඒ තරුණ ගුරුවරිය ඉංග්‍රීසි ගුරු පත්වීමක් ලැබ මොරටුවෙන් බදුල්ල ට ගිය දයා ධර්මබන්දු ය. තරුණ නීතිඥ මාෂල් පෙරේරා විය හැකිව තිබූ ලෙසම දයා ධර්මබන්දු හා පෙමින් බැඳුණි.

විවාහ වූ ඒ දෙදෙනා සිය ජීවිත නාවාතැන ලෙස බදුල්ල ම තෝරා ගත්හ. ඒ නිවස හැමදාමත් බදුල්ලේ විවිධ තරාතිරමේ දේශපාලනය කළ අයට නවාතැන විය. කුස පුරවන තැන විය. මාෂල් – දයා යුවලගේ නිවසේ කෑම මේසය ඕනෑම අයෙකුට අනාරාධිතව යහමින් බෙදාගත හැකි කෑම මේසයක් විය. පිටස්තරයන් ගරු ගාම්භීර තනතුරු ලෙස සිතූ ජනාධිපති නීතිඥ, ආණ්ඩුකාර තනතුරු දරද්දීත් මාෂල් පෙරේරා මහතාට එහි වෙනසක් නොවිය.

බදුල්ලේ නවාතැන් ගත් දින පටන් සම සමාජ කාරයෙක් වූ නීතිඥ මාෂල් පෙරේරා එවකට බොහෝ ආර්ථික ගැහැට තිබූ බදුල්ලේ දුගී ජනයා හටත් දෙමළ වතු කම්කරු ජනයා හටත් ආඛණ්ඩව සහය දුන් නොමසුරු දැන උගතා විය.

තරුණ මාෂල් පෙරේරා නීතිඥවරයා හට බොහෝ විට නීතිඥ ගාස්තු ලෙස ලැබී තිබුණේ මෑ කරල් මිටියකි. තවත් දිනෙක මඤ්ඤොක්කා කොළ මිටියකි. එනිසාම කලකට ඉහතදී ඔහු හැඳින්වූයේ “පලා මිටියට නඩු කතාකරන නීතිඥයා” යන අන්වර්ථ නාමයෙනි. නඩුවක් වෙනුවෙන් ඔහුගේ සේවය ලබාගැනීමට එන ඈත ගමක ඉතා දුප්පත් මිනිසකු ඔහු වෙත ගෙනදුන් වත්තෙන් පිටියෙන් සොයාගත හැකිදේ සතුටින් බාර ගැනීම ඔහුගේ සාමාන්‍ය උසාවි දින චර්යාව විය. ඌවේ බොහෝ ප්‍රසිද්ධ වැවිලි සමාගම් විසින් ඉතා ඉහළ මිලකට සිය නීතීඥයා ලෙස පෙනී සිටීමට තරුණ නීතිඥ මාෂල්ට නොකඩවා ගෙනා ආ යෝජනා ඔහු කිසිඳු පැකිලීමකින් තොරව ඉවතලීය. ඒ වෙනුවට හැමදාම වතු කම්කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නඩු වලට නොමිලේ පෙනී සිටියේය. සටන්කාමි තරුණ නීතිඥ මාෂල් පෙරේරාගේ අරමුණ වුයේ හාම්පුතුන් වෙනුවෙන් කිසිදා නඩු වලට පෙනී නොසිටීම ය. මියයන තුරුම ඔහු එම අරමුණින් පිටත නොගියේ ය.

ජිවිතයේ එක වතාවක් පමණක් මේ සම සමාජකාර නීතිඥ මාෂල් මහා මැතිවරණයකට තරග කර තිබිණි. 1960 මහා මැතිවරණයේදී මහියංගන ආසනයට ඔහු තරග කර ඇත්තේ සම සමාජ පක්ෂයෙනි. ලැබූ ඡන්ද සංඛ්‍යාව ගැන පසු කලෙක ඇසූවන්ට ඔහු දෙන පිළිතුර වූයේ ‘උඩින්ම පරාදයි..” යන්නය. එයත් පවසන්නේ සැහැල්ලු සිනාහවකිනි.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර නුවර එළියේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු වෙනුවෙන් උසාවියේදී නීතිඥවරයෙකු ලෙස අපේ කථානායක මාෂල් පෙරේරා ද සහභාගී විය. නාහෙට නාහන සම සමාජ කාරයෙකු වීම නිසාම 71 අරගලයට සම්බන්ධ කොට එවකට දෙදරු පියෙකු වූ නීතිඥ මාෂල් පෙරේරා බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පහර දී හදිසි නීතිය යටතේ බදුල්ලේ බන්ධනාගාර ගත කළේය. දින ගණනක් බාහිර කිසිවෙකුටත් නොපෙන්වා බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී පවා එවකට ආණ්ඩු බලය හිමිව තිබූ දේශපාලන පක්ෂය වූ සම සමාජ පක්ෂයටවත් මාෂල් පෙරේරාව ‘වෙනස් කිරීමට’ නොහැකිවිය. ඒ නොවෙනස් බව නිසාම සම සමාජ මාෂල් ගේ නිවෙස පසුකලෙක සංවර්ධන සභා මැතිවරණ කටයුතු වෙනුවෙන් ජවිපෙ සාකච්ඡා සඳහා වෙන්විය.

බන්ධනාගාරගතව සිටි සමයේදී එහි කවුලුවකින් සිය තරුණ බිරිඳ දයාත් පුතු ඩිලාන් සහ දියණිය කිසෝලි දින ගණනකට පසු යාන්තමින් දුටු විටත් සතුටින් සිනාසීම හැර ඔහු හඬා නොතිබිණි.

අත්අඩංගුවෙන් නිදහස් වූ පසුත් ඔහුගේ මුළු නීතිඥ ජිවිතයම ගෙවනු ලැබුවේ ඌවේ පීඩිත මිනිසුන් වෙනුවෙනි.

ඈත මහියන්ගනේ සිට දුෂ්කර මොනරාගල දක්වා ගණනින් මිනිය නොහැකි සිංහල දෙමළ ජනයා වෙනුවෙන් ඔහු සම සමව සේවය කළේය. තනි තනි අසාධාරණකම් වෙනුවෙන් මෙන්ම පොදු අරගල වලත් ඔහු කැපී පෙනෙන පුද්ගලයෙකු විය. මොනරාගල උක්බිම් හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිබිම් අහිමි වීමට එරෙහි ප්‍රකට වෙල්ලස්සේ සටනෙත් ඔහු පෙරමුණේ රාල කෙනෙකු විය. වෙල්ලස්සේ ඉඩම් මංකොල්ලයට එරෙහිව බයිසිකලයක ලැගේජයේ වාඩිවී ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීම කටයුත්තේ නිරතවිය. ඒ වන විටත් නීතිඥකුව සිටි සිය පුත් ඩිලාන් පෙරේරාත් රැගෙන ඒ බිම් වල ජිවත් වූ පීඩිත ගොවි ජනතාව වෙනුවෙන් ඔහු නොකඩවා උසාවියේ පෙනී සිටියේ ය. එය ඔහු සැලකුවේ සිය වෘත්තීය වගකීම ලෙසය.

වරෙක ඔහු ඔක්කම්පිටිය, මාලිගාවිල ජනපද ගොවීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මොනරාගල උසාවියේ පෙනී සිටියේය. ඒ ගොවින් මත පාලකයන් පන වූ අසාධාරණ ජල බද්දට එරෙහිවයි. එක නඩු වාරයක්වත් මග නොහැර නොකඩවා බදුල්ලේ සිට වියදම් කරගෙන මොනරාගල ගිය නීතිඥ මාෂල් පෙරේරා ඒ නඩුව ගොවින් වෙනුවෙන් ජයග්‍රහණය කළේය. එහෙත් ඒ වෙනුවෙන් ගොවීන්ගෙන් එක රුපියලක් හෝ අයකර නොගැනීමට තරම් ඔහු මානුෂිය විය. එපමණකටම ඔහු ඔහුගේ දේශපාලනය ආරක්ෂා කළේය.

ඌවේ ජීවත් වූ ජ්‍යෙෂ්ඨතම සහ දක්ෂතම නීතිඥයා වුවත් අප කතානායක මාෂල් පෙරේරා ආධුනික නීතිඥයන් වෙත දැනුම සහ අත්දැකීම නිර්ලෝභීව බෙදන නිහතමානි වැඩිහිටියෙකු විය. ඒ නිසාම ඔහු ඌවේ නීතිඥ පරපුර අතර ‘මාෂල් මහත්තයා’ විය.

කලක් ඇවෑමෙන් සිය පුත් නීතිඥ ඩිලාන් පෙරේරා මන්ත්‍රී, ඇමති තනතුරු දැරුවද ඔහු වෙනස් නොවුණු මාෂල් පෙරේරා ම විය. එනිසාම වැසි රහිත ඕනෑම උදයක රතු ටී ෂර්ට් එකකින් සහ රතු කැප් තොප්පියක් පැළද තට්ට තනියම බදුල්ල නගරයේ ඔහු ඇවිදීම සාමාන්‍ය දසුනක් විය. බොහෝ ඉහත දිනෙක ඔහු හදුනාගත්තෙකු වෙත පෑ ඔහුගේ සිනහව සබරගමුව, දකුණ සහ ඌව පළාත් ආණ්ඩුකාරවරයාව හුන් සමයේදීත් නොවෙනස්ව තිබිණි.

තනතුරු ලබන්නට ලොල් නොවූ නීතිඥ මාෂල් පෙරේරා තමා වෙත් පෑ තනතුරු ඉවත ලූ අයෙකි. ‘ජනාධිපති නීතිඥ’ නාමය ඔහු වෙත ලබාදුන් විට එවකට අග්‍රවිනිශ්චකාරවරයාව සිටි සරත් එන් ද සිල්වා මහතා වෙත ලිපියක් ලියමින් එය ප්‍රතික්ෂේප කරන්නටද ඔහු කටයුතු කළේය. අවසානයේ ඔහු විසින් ඌවේ ජනයාට කළ සේවය උදෙසා ලැබෙන එම තනතුරු නාමය ලබාගැනීම ඌවේ එවැනි මිනිසුන් වෙනුවෙන් කරන ගෞරවයක් බව ඒත්තු ගැන්වීමට ඔහුගේ සමීපතමයන්ට බොහෝ වෙහෙසක් ගන්නට විය.

තවත් විටෙක් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිඥ මාෂල් පෙරේරා මහතාට තානාපති තනතුරක් යෝජනා කළේය. ඒ ඔහුගේ බදුල්ලේ නිවසටම ගොසිනි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ “ඕකෙන් බදුල්ලේ මිනිස්සුන්ට කළහැකි දෙයක් නැහැ…”යි කියමිනි. ජනාධිපතිවරයා ” මට වෙන අයගෙන් බේරුමක් නැහැ තානාපතිකම් ඉල්ලල. මම ගෙදරටම ඇවිත් දෙන්න ඇහව්වමත් එපා කියන මාෂල් පුදුම මනුස්සයෙක්” යනුවෙන් පැවසීය.

එලෙසින්ම ඔහුට පළමුව දුන් සබරගම පළාත් ආණ්ඩුකාර තනතුර බාර ගැනීමට ඔහු මැලිවිය. අවසානයේ බදුල්ලේ බොහෝ දෙනකු නිවසට පැමිණ බොහෝ පෙරැත්ත කිරීමෙන් පසුව එය බාරගැනීමට ඔහු එකඟ වූයේ “වැඩක් කරන්න බැරිනම් මම ආපහු එනවා..” යන එකඟතාවෙනි.

එහෙත් ඔහු වෙනස් ආණ්ඩුකාර වරයෙක් විය. තමන් වෙත ලද සුඛෝපභෝගී රථ දෙකම ගරාජයේ ගාල්කළ ඔහු සාමාන්‍ය කැබ් රථයක් සිය පාවිච්චියට ගත්තේය. සිය නිළ රථ කිසිවක් කොයිම මොහොතකවත් සිය බිරිඳගේ හෝ පුත් ඩිලාන්ගේත් දියණිය වූ කිසෝලිගේත් පෞද්ගලික පරිහරණයට නොදීමට වගබලා ගත්තේය. කාර්යාලයේ රැදී සිටීමට වඩා සිය බල ප්‍රදේශයේ සාමන්‍ය ජනයා සම්මුඛව ඔවුන්ට සිය සීමාව යටතේ උපකාර කිරීම ඔහුගේ රාජකාරිය විය.

හැමදාමත් තමන්ට අවංකව ජිවත් වූ මාෂල් පෙරේරා මහතා මීට වසර කිහිපයකට පෙර සිය අවසන් කටයුතු කළයුතු ආකාරයද ලියා තිබිණි.

ඔහුගේ පළමු ඉල්ලීම වුයේ කිසිඳු ආකාරයක් ආගමික වතාවත් නොකිරීමයි. දිලිසීමක් නැති අඩුම වියදම් මිනි පෙට්ටියක් යොදා ගැනීම තවත් සඳහනකි. දේහය සැරසිය යුත්තේ රතු කමිසයකින් හා සුදු කලිසමකිනි. අවසන් කටයුතු සඳහා සරසන්නේනම් සැරසිය යුත්තේ රතු සහ සුදු කොඩි වලිනි. අවසානයේ පෙට්ටිය මත දකත්ත සහ මිටිය සලකුණු කළ රතු කොඩියකින් වැසිය යුතුය. මරණයෙන් සත් දිනක් ගිය පසු තමන් දැනහුන් සියල්ලන් කැඳවා රසමසවුලින් සංග්‍රහ කළ යුතුය. අවසානයේ ගී ගයා සතුටින් ඒ දිනය නිමා කළ යුතුය.

මේ සියල්ල අතර ඔහුගේ ප්‍රධානම ඉල්ලීම වුයේ වසර ගණනාවක් පුරා තමන් විසින පාවිච්චියටගත් ඓතිහාසික පොත් තොගයක් පිරි ඔහුගේ පෞද්ගලික පුස්තකාලය බදුල්ලේ කියවන මිනිසුන්ට විවෘත පොදු පුස්තකාලයක් බවට පත් කිරීමයි.

ඉන් පළමු ඉල්ලීම තමන්ට ඉටුකිරීමට නොහැකි වන්නේ ජිවතුන් අතර සිටින සිය දයාබර මවගේ ඉල්ලීම නිසා බව ඩිලාන් සහ කිසෝලි කියති. ඒ හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු සර්ව ආගමික වතාවත් අනුව සිදුකෙරෙයි.

අදින් වසර ගණනාවකට පෙර තමා අතැති පොත් කිහිපයක් සමඟ සම සමාජ පක්ෂයේ පුර්ණ කාලීන කාඩර්වරයෙකු ලෙස දුෂ්කර ඌවේ බදුල්ලට ගිය මිනිසෙකු ඉන් දශක පහකට පමණ පසු සිය දිවිසැරිය නිමාකර තිබේ. ඌවේ හැම පීඩිත සටන් බිමකම පා සලකුණු තැබූ ඔහු කිසිඳු වරදානයකට වරප්‍රසාදයකට යට නොවී ජනාධිපති නීතිඥයෙකු, පළාත් තුනකම ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කරමින් ඒ සියල්ල මැදත් අල්පේච්ඡ ජිවිතයට පැවැත්මක් ඇති බව අලුත් පරපුරකට කියා දී සතුටින් සිය ජීවිතය නිමා කළේය. ඒ ඌවේ බොහෝ දෙනා කියනා පරිදි ඔටුණු නොපලන් රජෙකු ලෙසින් බවයි මට හිතෙන්නේ.

සිසිර යාපා – දිනමිණ –

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top