ශ්‍රි ලංකාවේ කෝවිඩ් – 19 නිසා සිදු වූ 11 වැනි මරණයත් අද (01) දින පෙරවරුවේ වාර්තා විය. එම ආසාදිතයා කුවේට්හි සිට පැමිණි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වේ. මෙම මරණයත් සමඟ වාර්තා වූ රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව මරණ අනුපාතිකය 0.67%ක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය වාර්තා කරයි.

මේ වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 1633ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ, ඊයේ (31) දින වාර්තා වූ රෝගීන් 13 දෙනා ද ඇතුළුවය. වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (01) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව පසුගිය පැය 24 තුළ පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය රෝගීන් ගණන 10ක් වේ. ඒ අනුව, පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව ද 811ක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය මැයි මාසය තුළ දී පමණක් සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 646ක් වන අතර වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 971ක් වේ.

මේ අතර, ඊයේ (31) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා විය. එම 13 දෙනා අතරින් 04දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වේ. අනෙක් 09 දෙනා විදේශගතව සිට පැමිණි ආසාදිතයින් වේ.
දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 521 දෙනෙකු විදෙස්ගතව සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. එයින් 438 දෙනෙකු ම පසුගිය අප්‍රේල් මස 22 වන දිනට පසුව වාර්තා වූ ආසාදිතයින් වන අතර 476දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලදී තහවුරු වූ ආසාදිතයින් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් අතිබහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසුව මෙතෙක් බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. දැනට වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 762 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් වන අතර 36 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් සමිපව ආශ්‍රය කළ පුද්ගලයින් වේ.
එමෙන්ම, වාර්තා වූ රෝගීන් අතරින් 68 දෙනෙකු දේශියව හඳුනාගත් අය ද, 14 දෙනෙකු අනෙකුත් හමුදාවන්ට අයත් පුද්ගලයන් ද, තිදෙනෙකු විදෙශිකයන් ද වේ.
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 65,355ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. මැයි මාසය තුළ දී පමණක් සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් වේ.
එමෙන්ම, වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යාමත් සමඟ මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය මෙ වන විට 800 ඉක්මවා ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා අංශය අද (01) පෙරවරු 10.00ට නිකුත් කරන ලද වාර්තාව අනුව මේ වන විට සක්‍රීය ආසාදිතයින් 811ක් රෝහල්ගතව සිටියි. මෙය ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම සක්‍රීය ආසාදිතයින් ගණන වේ.
රෝගීන් ප්‍රමාණය වැඩි වීමට සාපේක්ෂ මෙරට අඩුම සක්‍රීය ආසාදිත ප්‍රමාණයක් වාර්තා වී තිබුනේ පසුගිය මැයි මස 23 වන දිනයේ ය. ඒ වන විට ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටි සක්‍රීය ආසාදිතයින් ගණන 439ක් වේ. ඒ අනුව පසුගිය දින කිහිපය තුළදී සක්‍රීය ආසාදිතයින් ගණන 372කින් වැඩි වී ඇත.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද(01) දින පෙරවරු 10.00 වන විට
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 145ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 91 ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 42ක් ද,
- ඉරණවිල රෝහලේ 50ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 92ක් ද,
- නාවික රෝහලේ 110 ක් ද,
- හෝමාගම රෝහලේ 100ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 46 ක් ද,
- හම්බන්තොට මහ රෝහලේ 107 ක් ද,
- තෙල්දෙණිය මූලික රෝහලේ 28ක් ද වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් 65ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ.
