Advertise with Giraya
POLITICS

නීතීඥ අලි සබ්රිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක්

පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතීඥ මොහොමඩ් අලි සබ්‍රිට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සිංහලේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් විසින් ඊයේ (30) දිනයේ දී පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නිරෝධායන නීතිවලට පටහැනිව කොරෝනා මර්ධනය කිරීමට බාධාකාරී ලෙස ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම් ඇතුළු පිරිසකට විරුද්ධව ද පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමීපයට වී මොහොමඩ් අලි සබ්‍රි මහතා රජය කෙරෙහි බහුතර සිංහල බෞද්ධයාගේ විශ්වාසය නැති කිරීමට කුමන්ත්‍රණ කරනවා දැයි සැකයක් පවතින බවත් අනෙකුත් සියලුම මුස්ලිම් මැති ඇමතිවරු එක පසෙකට වෙද්දී අලි සබ්‍රි පමණක් ගෝඨාභය රාජපක්ෂ කඳවුරේ නැවතීම පිළිබඳව සොයා බැලිය යුතු බවත් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසයි.

“සුළු ජන දේශපාලකයින් ජාතික සමගිය නැති කිරීමේ ප්‍රකාශ සිදු කරන බවත් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ජනතාවට ජීවත්වීමේ අයිතිය තහවුරු කරන්න කටයුතු කරද්දී මුස්ලිම් දේශපාලකයන් අහන්නේ කෝවිඩ් වෛරසය වැළඳී මිය යන මුස්ලිම් පුද්ගලයින් වළලනවාද පුච්චනවාද කියලා “යැයි සඳහන් කර සිටි සංජීව මහතා රිෂාඩ් බදුර්දීන් ට රවුෆ් හකීම් ට අසාද් සාලි ට ජාත්‍යන්තරයට කේලාම් කියන්න අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ මොහොමඩ් අලි සබ්‍රි බවට ද චෝදනා කරයි.

මේ අතර, නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව අපහාසයක් සිදුවන මොනයම් හෝ ක්‍රියාවක් වළකාලමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා (28) ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට එරෙහිව දින 14කට කාල සීමාවකට අදාළව තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම නඩුව යළි ජූනි මස 11 වැනිදා කැඳවීමට නියම වී ඇති අතර, කොළඹ දිසා අධිකරණය පිස්කල් නිලධාරීන් මාර්ගයෙන් අදාල නියෝගය එදිනම (28) මැඩිල්ලේ හිමියන් වෙත භාර දී තිබේ.

නීතීඥ අලිසබ්රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස නම් කර තිබේ. මේ සම්බන්ධයෙන් විරෝධය පළකරමින් “සිංහලේ” සංවිධානයේ උප සභාපති පූජ්‍ය රත්නපුර සීවලී හිමියන් සඳහන් කරන්නේ “අන්තවාදී අලි සබ්‍රි” ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසයි. එමෙන්ම, දේශප්‍රේමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන ලෙසත් එසේ කළහොත් පමණක් බලාපොරොත්තුවන නිදහස් නිවහල් රට නැවත ගොඩ නැඟිය හැකි බවත් උන්වහන්සේ සඳහන් කරයි.

ජාතිවාදයට අන්තවාදයට උඩගෙඩි දෙන අලි සබ්‍රි වැනි පුද්ගලයන් ළං කරගෙන තනතුරු දෙන්න උත්සහ කරන්නේ කාගේ උවමනවකට දැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටි සීවලී හිමි පසුගිය ආණ්ඩුව මෙන් සිවිල් සංවිධාන, භික්ෂුන් වහන්සේලා මර්දනය කිරීමට උත්සහා ගැනීමට මෙන්ම වක්‍රව හෝ එයට සහයෝගය දීමට කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට නොමැති බව ද සඳහන් කර සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top