Advertise with Giraya
NEWS

සොයිසාපුර සිද්ධියට අත්අඩංගුවට ගත්තේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරුයි

පසුගිය 29 වන දා අළුයම සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ‍වැගන් ආර් කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් ස්වයංක්‍රීය ගිනි අවිවලින් එම හෝටලයේ වීදුරුවලට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙක් පානදුර,එළුවිල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු 2018.05.24 වන දින දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන රංජන් සිල්වා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන අතර, ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර සිටින පුද්ගලයෙකු වන බව පොලීසිය පවසයි. එම ඝාතනයට ලක් වූ නාගරික මන්ත්‍රීවරයා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ද වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වු සමුද්‍රාසන්න පාර, අඟුලාන, මොරටුව යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු බාරයේ තිබී ජංගම දුරකථනයක් හා සිම් කාඩ්පතක් පොලිස් බාරයට ගෙන තිබේ. සැකකරු අද(31) ගල්කිස්ස ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Giraya News Alerts

සොයිසාපුර පිහිටි මෙම ආපනශාලාවට පළමුවෙන්ම ප්‍රහාර එල්ල වී තිබෙන්නේ පසුගිය 19 වන දින රාත්‍රී කාලයේ දී වේ. ඒ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබූ අවස්ථාවකයි. එයට හේතු වී තිබෙන්නේ අදාළ ප්‍රදේශයේ මැර කණ්ඩායමක් විසින් ආපනශාලා හිමිකරුගෙන් ඉල්ලූ කප්පම් මුදල් ලබා නොදිමයි. නමුත් මැර කල්ලියට ඇති බිය හේතුවෙන් ආපනශාලා හිමිකරු විසින් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබී නැති බව මූලික පරීක්ෂණවල දී හෙළි වී තිබේ.

එම සිද්ධියෙන් පසුව ද තමන්ගෙන් කප්පම් මුදල් ඉල්ලමින් ඩුබායි සිට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණු බව ආපනශාලා හිමිකරු ප්‍රකාශ කරයි. ඉන්පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොදවා තිබිණි. නමුත්, පසුගිය 29 වැනි දින අලුයම 12.30ට පමණ වෙඩි තැබීම සිදු කරන්නේ ගිනි අවි සහිතව පොලිස් නිලධාරීන් ආපනශාලාව අසල ආරක්ෂාවට සිටියදී ය. නමුත්, ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මේ වන විට ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ එම පොලිස් සැරයන්වරයාගේ හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ. ඒ, වෙඩි තැබූ සැකකරුවන් පලා යන අවස්ථාවේ දී කිසිදු ක්‍රියා මාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් රාජකාරී පැහැර හැරීමේ චෝදනා මතයි.

වෙඩි තැබීමෙන් අනතුරුවද ද ඩුබායිහි සිට කප්පම්කරු විසින් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top