එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සීෂෙල්ස් ජාතිකයින් පිරිසක් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් මැයි 29 දින ප්‍රකාශයක් සිදුකළා.
ඔහු එමගින් සඳහන් කළේ ශ්‍රී ලංකාව සීෂෙල්ස් රාජ්‍යයේ සිට කොරෝනා රෝගීන් ආනයනය කර ඇති බවයි. එසේම මෙරටට පැමිණීමට සීෂෙල්ස් හී ශ්‍රී ලාංකිකයින් බලා සිටිය දී සීෂෙල්ස් ජාතිකයින් ගෙන්වීම සම්බන්ධයෙන්ද එම මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රශ්න කළා.
මේ සම්බන්ධයෙන් රිවිර.lk විශේෂ සොයා බැලීමක් සිදුකළ අතර එහි දී වාර්තා වූයේ සීෂෙල්ස් රාජ්‍ය මේ වන විට කොරෝනා ආසාදිතයින් නොමැති රටක් බවයි. 98,000ක පමණ සුළු ජනගහණයක් සහිත සීෂෙල්ස් රාජ්‍යයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනුව කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පමණක් හමු වී ඇති අතර එම 11 දෙනාම සුවය ලබා තිබෙනවා.
සීෂෙල්ස් රාජ්‍යයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව මැයි 4 දින සිට කොරෝනා සීමාවන් ඉවත් කර එම රාජ්‍ය යථා තත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණියේ කොරෝනා ආසාදිතයින් නොවන බවත් ඔවුන් වෙනත් රෝගී තත්වයන්ගෙන් පීඩා විඳින පිරිසක් බවත් ජනාධිපති අතිරේක ලේකම්, ආචාර්ය ජයනාත් කොළඹගේ තහවුරු කර සිටියා. ඔවුන් ද ශ්‍රී ලංකාවේ නිරෝධානය නීති යටතේ නිරෝධානය කිරීමට පියවරගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති අතිරේක ලේකම්වරයා කියා සිටියේ නිරෝධානයෙන් පසු ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වලදී ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවස්තාව ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය අදාළ පිරිසගේ පුද්ගලික වියදමින් සිදුකරන බවද ජනාධිපති අතිරේක ලේකම්වරයා තහවුරු කර සිටියා. එමෙන්ම අදාළ පිරිස ශ්‍රී ලංකාව විසින් ගෙන්වා ගත් බවට වන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශයක් බවද සඳහන් කළ ජනාධිපති අතිරේක ලේකම්වරයා කියා සිටියේ ඔවුන් සීෂෙල්ස් හී ගුවන් යානයකින් මෙරටට පැමිණි බවයි. ශ්‍රී ලංකා රජය සිදුකළේ ඔවුන් ට ඒ සඳහා අවශ්‍ය අවසරය ලබා දීම හා නිරෝධාන කටයුතු සිදුකිරීමට සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සළසා දීම බව ද සඳහන් කර සිටියා. නිරෝධානය ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් මුදල් අය කර තිබෙනවා.
ඒ අනුව පෙනී යන්නේ සීෂෙල්ස් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි රෝගීන් 28 දෙනෙකු සහිත 35 දෙනෙකුගේ කණ්ඩායම සම්බන්ධයෙන් චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු හා අසත්‍ය ප්‍රකාශයක් බවයි. මෙවැනි මොහොතක රටේ ජනතාව බියකින් පසුවන අතර මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇතිවිය හැකියි.
-Rivira
