Advertise with Giraya
POLITICS

ආණ්ඩුව භාණ්ඩාගාරය හිස් විමේ වරද ජනතාව පිට පටවන ගමන් කොමිස් මුදල් ගන්න විශාල ව්‍යාපෘති ආරම්භ කරනවා – අනුර කුමාර

ආණ්ඩුව විසින් භාණ්ඩාගාරය හිස් වීමේ වරද ජනතාව වෙත පටවන ගමන් කොමිස් මුදල් ලබා ගැනීම සඳහා විශාල ව්‍යාපෘති ආරම්භ කර තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

තවද, රාජ්‍ය සේවකයන්ට හිමිව තිබූ දීමනා කප්පාදු කිරීමෙන් ද රජය මුදල් සොයමින් සිටින බව ඔහු පවසනවා. එමෙන්ම, ආණ්ඩුව විසින් මේ වන විට ගෙන ඇති ආර්ථික තීරණ වලට ඔවුන විරෝධය පළ කරන බවත් ඔහු පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ (28) දිනයේ දී බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ය.

එහිදී ඔහු විසින් පළ කළ අදහස් මෙසේ ය.

”මේ වෙලාවේ ආණ්ඩුව ගෙන තිබෙන ආර්ථික තීන්දුවලට අපේ විරෝධය පළ කරනවා. ඒ තීන්දු තවත් ජනතාව පීඩනයට පත් කරනඒවා. මෙම වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත‍්‍රයේ 25%කට රැකියා අහිමි විය හැකි බව සමීක්ෂණ වාර්තා කියනවා. 2018 රැකියාවල නියුක්ත වී සිටි ප‍්‍රමාණය ද සමඟ සසඳා බැලූවහොත් එය 365,980ක්. ඒ අනුව 366,000 පමණ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ රැකියා අහිමි වීමේ අනතුරක් තිබෙනවා. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ 25%කට රැකියා අහිමි විය හැකි බව කියනවා. ආසන්න වශයෙන් 178,000කට රැකියා අහිමි වීමේ අනතුරක් තිබෙනවා. ඒ අනුව ගත්තොත් සියලූ ක්ෂේත‍්‍රයන්හි මෙම වසරේ දී රැකියා අහිමි වීම එකොළොස් ලක්ෂ දහතුන්දහස ඉක්මවන බවට වාර්තා ඉදිරිපත් වී තිබෙනවා.

මේ වන විටත් ඇඟලූම් ක්ෂේත‍්‍රයේ කාර්යාල හා සාප්පු ක්ෂේත‍්‍රයේ ලක්ෂ 2කට වඩා රැකියා අහිමි වෙලා. උදාහරණයක් ලෙස ගත්තොත් මාස 06ට වඩා අඩුවෙන් වැඩ කරන ලද බොහෝ අයගේ රැකියා නතර කර තිබෙනවා. ඒ වගේම මෑන්පවර් ආයතන මගින් රැකියාවලට ගත් අයගේ රැකියා නතර කර තිබෙනවා. කොන්ත‍්‍රාත් පදනමින් ගත් අයගේ රැකියා නතර කර තිබෙනවා. එම නිසා රැකියාවල නියැළුණු බොහෝ අයගේ ආර්ථිකයට විශාල බලපෑමක් මේ වන විටත් සිදුවී හමාරයි. ඒ වගේම ගත්තොත් පාරේ එළවළු තබාගෙන විකුණූ, සැලූන් ආයතනයක් පවත්වාගෙන ගිය, ලොන්ඩරියක් පවත්වාගෙන ගිය සමාන්‍ය ආදායම් සහිත බොහෝ දෙනාගේ ආදායම් මාර්ග ඇහිරී තිබෙනවා. ජනතාව ඉදිරියේ දී ජීවිතය පවත්වාගෙන යෑමේ අනතුරකට මුහුණ දී සිටිනවා.

දැන් ආණ්ඩුවක් විසින් කළ යුත්තේ කුමක්ද? මෙම පීඩාවට පත්ව සිටින ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ආහාරපාන, ඇඳුම්පැළඳුම් ආදීය සාධාරණ මිලකට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබෙනවා.

නමුත් ආණ්ඩුව සිදු කරමින් තිබෙන්නේ, ජනතාවට සහන ලබාදෙනවා වෙනුවට එම පීඩාවට පත් ජනතාව තවත් පීඩනයට පත් කිරීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව නව බදු ප‍්‍රතිපත්තියක් එළිදක්වනු ලැබුවා. ලෝක වෙළඳපොළේ අඩුම අගයට බොරතෙල් හා පිරිපහදු කළ තෙල්වල මිල පහත බැස තිබෙනවා. ඒ වාසිය ජනතාවට දෙන්නේ නෑ.

මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් නැවතත් පරිප්පුවලට රු. 10ක බද්දක් ඇතුල් කළා. සහනය ජනතාවට දෙනවා වෙනුවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බදු පනවමින් සිටිනවා. ජනතාව ආහාරපාන අත්හරින්නේ අන්තිමටයි. පරිප්පු, සැමන්, බී ලූනුු, සුදු ලූනු, අර්තාපල් ආදී අත්‍යාවශ්‍ය ආහාරපාන මිලදී ගන්නවා. ආණ්ඩුව ඒ අත්‍යාවශ්‍ය ආහාරපාන මත බදු පැනවීමට කටයුතු කළා. සුදු ලූනුවටල රු. 50ක්, සීනි කිලෝ 01ට රු. 50ක්, බී ලූනු කිලෝ 01ට රු. 50ක් ආදී විශාල ලෙස බදු පැනවීමක් ආණ්ඩුව විසින් සිදු කළා.

මේ බදු පැනවීම වෙනුවෙන් ප‍්‍රශස්ති ගායනා කළ අය කිවුවේ ආණ්ඩුව දේශීය නිෂ්පාදනය වැඩි කිරීම වෙනුවෙන් මෙම බදු පැනවීම් සිදු කර ඇති බවයි. ඒත් එහෙම වෙනවද? මේ බදු පැනවීමේ අරමුණ අපේ රටේ දේශීය නිෂ්පාදකයා දිරි ගැන්වීම නොමෙයි. ආණ්ඩුව තවත් බදු මුදල් එකතු කර ගැනීමයි.

සීනි කිලෝවකින් ආණ්ඩුව තිබුණු බදුවලට තවත් රු. 50ක් එකතු කර ගන්නවා. ලූනු කිලෝ 01ක් ගත්තොත් තිබුණු බදුවලට අමතරව තවත් රු. 50ක් ගන්නවා. ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ, ආණ්ඩුව මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය ජනතාව මත පටවා එම මුදල් සෙවීමේ කි‍්‍රයා මාර්ගයක් බවට පත් කර ගැනීමයි.

ඒ වගේම මේ දිනවල විදුලි බිල හා ජල බිල පිළිබඳව ප‍්‍රශ්නයක් මතුවී තිබෙනවා. මා සතුව තිබෙනවා, ජල බිල් කිහිපයක්. ඔහුට මාර්තු මාසයේ ජල බිල රු. 451යි. මාස දෙකක් ජනතාව නිවසේ රැඳවීම හේතුවෙන් අපේ‍්‍රල් හා මැයි මාසයේ ජල බිල ඉහළ ගියා. හැබැයි ඔවුන් කළේ කුමක්ද? මාර්තු මාසයේ ජල බිලම අපේ‍්‍රල් මාසයට දැම්මා. දැන් ඔවුන් මැයි මාසයට බිලක් එවනවා රු. 7656ක් වශයෙන්. මාර්තුවල රු. 451ක් ලෙස ගෙවූ බිල මැයි මාසයේ රු. 7656ක් වෙනවා. ඔවුන් අපේ‍්‍රල් මාසයේ වැඩිපුර පාවිච්චි කරන ලද ප‍්‍රමාණයත් මැයි මාසයට ඇතුළු කළා. අපි දන්නවා ජල බිල හදනකොට ඒකක 05කට වරක් අගයන් නියම වෙනවා. පළමු 05ට රු. 12ක් වගේ. ඊළඟ 05ට රු. 16ක් වගේ ආදී වශයෙන්. ඒ අනුව අපේ‍්‍රල් මාසයේ පාවිච්චි කරන ලද ප‍්‍රමාණය මැයි මාසයට ඇතූළත් කළ විට එයාට අන්තිමට තිබෙන ඒකකයට රු. 148ක් වන අගයටත් ළඟා වෙනවා. ඒ නිසා රු. 7000කට වැඩි ජල බිලක් ලැබී තිබෙනවා. විදුලි බිලෙනුත් මේ ආකාරයේම වංචාවක් සිදුව තිබෙනවා.

ආණ්ඩුව භාණ්ඩාගාරය හිස්වීමේ ප‍්‍රතිඵල ජනතාව මත පටවමින් තිබෙනවා. එහෙත් එය ජනතාව මත පටවන ගමන් ආණ්ඩුව තමන්ට කොමිස් මුදල් සොයාගැනීම, මුදල් යටිමඩි ගසා ගැනීම වෙනුවෙන් විශාල ව්‍යාපෘති ගණනාවක් අරම්භ කර තිබෙනවා. පසුගියදා

රු. ලක්ෂ 80,000ක් දී පිට්ටනියක් සෑදීමට යෝජනා කළා. ඒ වගේම ලක්ෂ 3000ක් දී වාහන 28ක් ගෙන ඒමට යෝජනා කරනවා. මේවා කැබිනට් මණ්ඩලය ගත් තීරණයි. පිට්ටනිය ඉදි කිරීමත් කැබිනට් මණ්ඩලයේ තීරණයක්. බදු ගැසීමත් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක්. ඒ කැබිනට් මණ්ඩලයම දශ ලක්ෂ 31,000ක පාරවල් ඉදිකරන්න තීරණය කරනවා. ඒ කැබිනට් මණ්ඩලයම ඩොලර් බිලියන 05ක් අධිවේගී මාර්ගවලට වෙන් කරනවා. මෙම සති 03 ඇතුළත කැබිනට් මණ්ඩලයක් විසින් ලංකාවේ මෙතෙක් වියදම් කරන ලද වැඩිම මුදල් ප‍්‍රමාණය වියදම් කිරීමට තීන්දුවක් ගෙන තිබෙනවා. විශාල ඉදිකිරීම් කියන්නේ විශාල කොමිස්. විශාල ලෙස අයථා මුදල් උපයා ගැනීමේ ක‍්‍රියාමාර්ග. මෙවැනි ව්‍යසනයක් හමුවේත් ආණ්ඩුව එය අත්හැර නැහැ.

මේ කැබිනට් මණ්ඩලය ඡන්දෙට රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන කුලියට දෙන්න තීරණය කළ බව හඳුන්නෙත්ති සහෝදරයා පසුගියදා ඉදිරිපත් කළා. රු. ලක්ෂයකට වාහනයක් ලබා දෙනවා. අපි බැලූ‍වා වී 8 ජීප් රථයක් කුලියට දෙන ආයතනවලින් මසකට රු. ලක්ෂ 3 1/2ක් වෙනවා. හැබැයි ආණ්ඩුව එය රු. ලක්ෂයකට ලබා දෙනවා. එතනදී රාජ්‍ය අමාත්‍යවරයෙකුට ලක්ෂ 2 1/2කට වැඩි අතිරේක ලාභයක් ලැබෙනවා. ලක්ෂ 02කට ආසන්න ඉන්ධන දීමනාවක් දෙනවා. මේ පැත්තෙන් පරිප්පුවලට, ළුෑනුවලට බද්ද අනුමත කරන කැබිනට් මණ්ඩලය රාජ්‍ය අමාත්‍යවරුන්ට ලක්ෂ 4 1/2ක පමණ අමතර ආදායම් ලබා දීමේ මාර්ග හදා දෙනවා. පසුගිය සති 03ක කැබිනට් මණ්ඩල ඉතිහාසයේ වැඩිම මුදල් වියදම් කිරීමට තීරණය කළා. මේ විශාලතම යටිමඩි ගසා ගැනීම්වලටයි. ආණ්ඩුවේ තිබෙන්නේ දෙබිඩි බවක්. ජනතාවට අසීමිත බදු බර පටවන ගමන් තමන්ට වරප‍්‍රසාද දිනා ගන්න, තමන්ට කොමිස් උපයා ගැනීම සඳහා විවිධ ව්‍යාපෘති අනුමත කරන පාලනයක් බවට ඔවුන් පත්වී තිබෙනවා.

රු. 5000 දීමනාව ගැන මැතිවරණ කොමිසමේ සභාපති ලිපියක් යවපුවාම එහි දේශපාලනය ඉවත් කරන්න කියලා ඒක අර්ථකථනය කරනවා රු. 5000 නොදී ඉන්න කිව්වා කියලා. අපිත් කිව්වා කියලා කියනවා. ඔවුන් කොතැනද ඇත්ත කියලා තිබෙන්නේ? මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන ආණ්ඩුවක්.

එම නිසා මේ ආර්ථික පීඩනය හමුවේ තමන්ට එල්ල කරන පීඩනයට එරෙහිව ජනතාව ඉදිරියට පැමිණිය යුතුව තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සූදානම්, ආණ්ඩුවට කිසිසේත් හොරකම් කිරීමේ, කොමිස් ගැසීමේ අරමුණු සහිතව දියත් කර තිබෙන යෝජනාවලට විරුද්ධ වෙන්න. ඒ වෙනුවෙන් ක‍්‍රියාමාර්ග ගන්න. විශේෂයෙන් අපි නැවතත් අවධාරණය කරන්නේ මේ රටේ ජීවත් වන දුප්පත් ජනතාව විශාල පීඩාවකට පත්ව සිටිනවා. මාර්තු 01 වැනිදා සිට වතුකරේ ජනතාවට රු.1000ක් දෙන බව කියා තිබුණා, අද ඒ ගැන කථාවක්වත් නැහැ. මෙම පීඩාවට පත් වන සියලූ ජනකොටස් පීඩනයට එරෙහිව ඉදිරියට පැමිණිය යුතුයි”

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top