යාපනයේ වඩමාරච්චි වල්ලිපුරම් ප්රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයක් අසලදී පසුගියදා (27) සිදු වූ පිපිරීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය විසින් සැකකරුවන්ගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ප්රදේශයේ වෙසෙන වැලි ජාවාරම්කරුවන් පිරිසක් විසින් පොලීසිය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්රහාරයක් එල්ල කර ඇති බවයි.
කෙසේ නමුත්, අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනා මෙම බෝම්බ ප්රහාරයට සෘජුවම සම්බන්ධ බව තවමත් ප්රකාශ කළ නොහැකි බව පේදුරුතුඩුව පොලිසිය පවසනවා. පුපුරුවා හරින ලද බෝම්බය ක්ලේමෝ බෝම්බයකට සමාන ලෙස දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද බෝම්බයක් බව ද පොලීසිය සඳහන් කරයි.
පොලිසිය මගින් මේ පළාතේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් මැඬ පැවැත්වීම සඳහා දිනපතාම මුර සංචාර කටයුතු සිදු කරනු ලබන අතර මෙදිනද නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බෝම්බය පුපුරවා හැර ඇති බවට තොරතුරු හෙළි වී ඇත’ බෝම්බ ප්රහාරයෙන් එක් පොලිස් නිලධාරියකු සුළු තුවාල ලබා රෝහල් ගතකොට සිටියි’
බෝම්බය පුපුරා ගිය ස්ථානය පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට බෝම්බය පුපුරුවා ඇත්තේ බෝම්බයට වයර් සම්බන්ධකොට ඊට විදුලිය ලබාදීමෙන් බවට තොරතුරු අනාවරණය වී ඇත. පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සම්බන්ධිත පුවත්
යාපනයේ පොලිස් මාර්ග බාධකයක් අසල පිපිරීමක්
