ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, ඊයේ (28) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 61 දෙනා ද සමඟය.
එම ආසාදිතයින් අතරින් 35 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් ද 26 දෙනෙකු නාවික හමුදාවට අයත් පුද්ගලයින් බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. විදේශගතව පැමිණි 35 දෙනා අතරින් 18 දෙනෙකු කුවේට්හි සිට ද 17 දෙනෙකු ඩුබායිහි සිටද මෙරටට පැමිණි අය වේ.
ඒ අනුව, දැනට මෙරට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 775ක් වන අතර ඊයේ (28) දිනයේ දී සුවය ලැබූ 13 දෙනා ද ඇතුළුව සුවය ලැබූ ගණන 745ක් වේ. මිය ගිය ගණන 10කි.
මේ අතර, පුද්ගලයින් 4836 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 44 ක මේ වන විට රඳවා ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 11,000ක් පමණ මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස්වලට පිටත් කර ඇත.
එසේම, ගෝල්ඩ් සෑන්ඩ් හෝටලය , දියගම , බුස්ස සහ රුවල යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 33 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව පි.සි.ආර් පරික්ෂණයට ලක්කොට ඊයේ (28) නිවෙස් වෙත පිටත් කර හැරි බව කොවිඩ් නයින්ටීන් පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
ඊයේ (8) රාත්‍රියේ ද බෙලරූස් රාජ්‍යයේ සිට තවත් ශ්‍රී ලාංකිකයින් 277 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේ ය. අද (29) දිනයේ දී ඕස්ට්‍රේලියාව සහ එංගලන්තයේ සිට තවත් පිරිසක් පැමිණීමට නියමිතව තිබේ.
