Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත නාවික සෙබළෙකු වාර්තා වීමෙන් කොටුවේ ගොඩනැගිල්ලක සිටි 200ක් නිරෝධායනයට

කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් සම්පුර්ණයෙන්ම හුදකලා කොට තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සෙබළෙකු වාර්තා වීමත් සමඟ ය.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටි නාවික හමුදා භට පිරිසෙන් එක් සාමාජිකයෙක්ට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (27) දිනයේදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බවයි.

ඒ අනුව, එම ගොඩනැගිල්ලේ සිටි 200 කට ආසන්න නාවික හමුදා සාමාජිකයින් එහිදී ම නිරෝධායනයට ලක් කිරිමට අවශ්‍ය කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසයි.

Giraya News Alerts

මේ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ එම ගොඩනැගිල්ලේ රඳවා සිටියේ වැලිසර නාවික හමුදා කඳවුරට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට යොදා ගනු ලැබූ සාමාජිකයින් බවයි. හුදෙකලා කරනු ලැබූ වැලිසර නාවික හමුදා කඳවුර සහ එහි රෝගීන්ට ප්‍රතිකාර කරනු ලැබූ වැලිසර රෝහලේ අවශ්‍යතා සැපයිම සඳහා යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා භට පිරිස බාහිර සමාජය සමග මිශ්‍ර නොවන අයුරින් ආරක්ෂා සහිතව එම ගොඩනැගිල්ලේ රඳවා සිටින බවයි.

මේ අතර පසුගියදා විජයග්‍රාහී සැමරීමේ පෙරහුරුවට එක්ව සිටිය බව කියන නව කොරෝනා වෛරසය ආසාදනය වූ බව කියන නාවික හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දෙවන වරට සිදුකළ PCR පරීක්ෂණ වාර්තා මේ දක්වා ලැබී නොමැති බව ද මෙහිදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසුවා.

-Neth News-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top