Advertise with Giraya
NEWS

ආසන ගණනට මගීන් ප්‍රවාහනය ඉදිරියේ දී නීතියක් කරනවා – මහින්ද අමරවීර

අප රටේ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ද ගමන් ගන්නා මගීන් ප්‍රවාහනයේ දී මගීන් ප්‍රමුඛ වැඩ පිලිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මුදල් ගෙවා බස් රථවල හා දුම්රියේ ගමන් කරන මගීන් තමන්ට මගියෙක් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ගැන අවබෝධයක් නොමැති බවත් එම නිසා සෑම විටම බස් රථ තුළ මගීන් අසරණභාවයට පත්වීම හැර ඔවුන්ට ලැබුනු පහසුකමක් නොමැති බවත් අමාත්‍යවරයා පවසයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපි රජය වශයෙන් ගත් තීරණය තම ආසන ගණනට පමණක් මගීන් ගෙනයාමට ඉඩ සැලසීම බවත් එසේ සිදු කළේ සමාජ දුරස්ථතාවය ඇති කිරීමට බවත් ඔහු ප්‍රකාශ කළේය.

Giraya News Alerts

“නමුත් මම ප්‍රවාහණසේවා කළමනාකරණ අමාත්‍යවරයා විදියට තීරණය කර තිබෙනවා ඉදිරි කාලය තුළ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගීන් ප්‍රවාහණයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම නීතියක් වශයෙන් සම්මත කර අනිවාර්යය කිරීමට” යැයි ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (25) පස්වරුවේ රත්මලාන ධර්මපාලාරාමයේ දී ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලැබූ අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා සහ උන්වහන්සේගේ සුවදුක් බැලීම පිණිස ගිය අවස්ථාවේය.

එහිදී වැඩිදුරටත් මාධ්‍යවේදීන් අමතා අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් දී ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා සෑම මගියෙකුටම ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවයි.

නමුත් පසුගිය කාලය තුළ කිසි විටෙක මගින්ගේ එම අයිතිය තහවුරු කිරීම සඳහා කිසිදු රජයක් පියවර ගෙන නොමැත.

නමුත් වත්මන් රජය යටතේ මගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තම අරමුණ බව කී අමාත්‍යවරයා ගුණාත්මක බවින් ඉහළ පොදු ප්‍රවාහණ සේවාවක් ස්ථාපිත කිරීමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට උපදෙස් දී ඇති බවත්, එමනිසා ඒ් සඳහා අවශ්‍ය පියවර ගන්නා බවත් කීය.

දැනට මගීන් ප්‍රවාහණය කරන ලොරි චැසිවලට සවිකරන ලද බස් රථ වෙනුවට වයසක, ආබාධිත මෙන්ම සෙසු සියලුම ජනතාවට සුරක්ෂිතව ගමන් කළ හැකි නියම බස් රථ ප්‍රවාහණ සේවාවට ඉතාමත් නුදුරු අනාගතය තුළ එක් කරන බවත් කීවේය.

එමෙන්ම පහසුකම් සහිත දුම්රිය ද මේ වනවිට 09ක් ගෙන්වා ඇති අතර සුඛෝපභෝගි දුම්රිය දෙකක් ඉතාමත් කෙටිකාලයක් තුළ දේශීය හා විදේශීය සංචාරකයින් වෙනුවෙන් යොදවන බව ද අවධාරණය කළේය.

මෙහිදී අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්වහන්සේගේ ජීවිත කතාව අළලා විරචිත චරිතාපදාන ග්‍රන්ථයේ පිටපතක් උන්වහන්සේ විසින් අමාත්‍යවරයාට පිරිනමනු ලැබීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top