Advertise with Giraya
POLITICS

හූල් මැතිවරණය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරන බවට තවත් පිරිසකගෙන් චෝදනා

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා අතුරින් එක් අයකු වන රත්නජීවන් හූල් මහ ඡන්දය කල් දැමීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (24) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවදීය.

එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවක් වූ මැතිවරණ කොමිෂන් සභාවේ මූලික කර්තව්‍යය කලට වේලාවට ස්වාධීනව මැතිවරණ පවත්වා ජනතා පරමාධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වුවත් වත්මන් මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය වසර එකහමාරක් ද පළාත් සභා මැතිවරණය අනන්තය තෙක් ද කල්දැමූ බවයි. එමෙන්ම, වර්තමානයේ ද ඉහත කොමිසම මහා මැතිවරණයක් කැඳවා තිබියදී එය කල් දැමීමට චේතනාන්විතව කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

Giraya News Alerts

පොදුවේ ගත්කල වත්මන් මැතිවරණ කොමිසමේ තත්වය එවැන්නක් බව රටම දන්නා කරුණක් වුවත් එම තත්වය තවදුරටත් තීව්‍ර කීරීමට, ‘එහි සාමාජිකයකු වන රත්නජීවන් හූල් ඉතාමත් නිර්ලැජ්ජිත සහ කුමන්ත්‍රණකාරී ලෙස හැසිරෙමින් තමන් නියෝජනය කරන රටට හතුරු, බෙදුම්වාදී එන්.ජී. ඕ. කදවුරෙහි සහ මැතිවරණවලට බිය විපක්ෂයෙහි සිතැඟි පරිදි මහ මැතිවරණය කල් දැමීමට කටයුතු කිරීම’ කොමිසමේ සභාපතිවරයාගේ සහ අනෙක් සාමාජිකයාගේ පවා දැඩි අවධානයට ලක්විය යුතුව ඇති බවත් ජයන්ත සමරවීර වැඩිදුරටත් සදහන් කළා.

ස්වාධීනව නිසි කලට වේලාවට මැතිවරණ පැවැත්වීම අරමුණු කොටගෙන පිහිටුවන ලද මැතිවරණ කොමිසමක සාමාජිකයකු මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව අධිකරණයට යාම සහ නිරෝධායන ආඥා පනත උල්ලංඝණය කරමින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්වන අන්දමට නිරෝධායනයට ලක්ව සිටින තම දියණිය තම සේවා ස්ථානයට රැගෙන ඒම යන කරුණු දෙක සැලකුව ද මහ ඡන්දය කල් දැමීමට හූල් කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති බව වටහාගත හැකි බව ද ජයන්ත සමරවීර පෙන්වා දෙයි.

එහෙයින්, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස කටයුතු කරන කරු ජයසූරිය මහතා වහාම ව්‍යවස්ථාදායක සභාව කැඳවා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ මූලික පරමාර්ථයන්ට පටහැනිව චේතනාන්විතව කටයුතු කරන රත්නජීවන් හූල්ට එරෙහිව එම සභාවේ බලතල ප්‍රකාරව කටයුතු කළ යුතුව ඇති බව ද ජයන්ත සමරවීර වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම, අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පසුගියදා (23) පැවති මාධ්‍ය හමුවක දී ද මේ පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ට චෝදනා එල්ල කළා. එහිදී ඔහු සඳහන් කළේ, වත්මන් විපක්ෂය ආණ්ඩු පක්ෂයේ සිටියදීත් විපක්ෂයේ සිටියදීත් මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි යෑම බරපතල තත්වයක් බවයි. එසේම තමන් දන්නා පරිදි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයෙකුත්, කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් මැතිවරණ පැවැත්විය යුතු බවට වන ස්ථාරවයක සිටියත් කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ඊට එරෙහි තැනක සිටින බවත් ඇමතිවරයා කියා සිටියා.

තවද, එදිනම (23) කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මැතිවරණය පැවැත්වීමට ජුනි 20 දිනයේ සිට දින 60ක් 70ක් පමණ අවශ්‍ය බව අධිකරණය වෙත මැතිවරණ කොමිසම කියා සිටීම ගැටළුකාරී ප්‍රකාශයක් බවයි. එමෙන්ම මාර්තු 19 සිට අප්‍රේල් 25 දක්වා ඇත්තේ දවස් 36ක් බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ඒ අනුව මැතිවරණයක් පැවැත්වීමට නාමයෝජනා අවසන් කළ දිනයේ සිට දින 36ක් ප්‍රමාණවත් බව සනාථ වී ඇති බවයි.

එමෙන්ම, මැතිවරණ පනත අනුව ද නාමයෝජනා බාරගැනීමෙන් අවම සති 5කුත් උපරිම සති 7කුත් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු දක්වා බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මැතිවරණය පැවැත්වීමට රටේ තත්වය බාධාවක් නොවන බව පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති තත්වයක් තුළ මෙන්ම මැතිවරණ කොමිසම විසින් දවස් 36ක් තුළ මැතිවරණයක් පැවැත්විය හැකි බව සනාථ කර ඇති තත්වයක් තුළ දවස් 70ක් ඉල්ලීම පුදුම සහගත බව කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවා. එය මැතිවරණය කල් දැමීම සඳහා වන ඉතා සුක්ෂම වැඩපිළිවෙළක් විය හැකි බවට සැකයක් මතු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවලට තිබූ පරම අපේක්ෂාව පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවා ගැනීම බව පෙන්වූ කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ ඒ අපේක්ෂාවන් සමග මැතිවරණ කොමිසමේ හැසිරීම සමාන වන බවයි. ඒ අනුව, එහි ස්වාධීනත්වය පිළිබඳ බරපතල ගැටළුවක් ඇති වී තිබෙන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව සුදුසු යැයි හැඟෙන පළමු නිමේෂයෙන්ම ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීම සියලු දෙනාගේ වගකීමක් බවද කෙහෙළිය රඹුක්වැල්ල එහිදී අවධාරණය කළා.

එමෙන්ම, මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රටේ පවතින සෞඛ්‍ය වාතාවරණය පිළිබඳව ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ලිඛිතව විමසීමක් සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ, “ඒ සඳහා රටේ පවතින සෞඛ්‍ය පසුබිම පිළිබඳව මා තොරතුරු දැනුම් දුන්නා. එය සිදුකළේ දේශපාලන කෝණයකින් බලා නොවෙයි. රට යළි විවෘත වුවත් කොරෝනා රෝග අවදානම අඩු වන්නේ නැහැ. එනිසා වෙනදා මෙන් නොව අප එදිනෙදා කටයුතු කරන විට රෝග පාලනයට අදාළ නිවැරදි සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. ඒ සඳහා නිරෝධායන නීති තදින්ම ක‍්‍රියාත්මක කළ යුතු” යැයි පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top