Advertise with Giraya
FEATURES

“රත්නජීවන් ෆූල්”

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් පසු ගිය දිනෙක නිරෝධායනයට නියම කර සිටි තම දියණිය සමග මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණීම සම්බන්ධයෙන් සමාජය තුළින් දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබේ. මේ වන විට ඔහු සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ද ආරම්භ වී තිබේ. මේ අතර “දිවයින ඉරිදා සංග්‍රහය” සිය කතුවැකියෙන් හූල්ගේ හැසිරීම සම්බන්ධයෙන් සටහනක් තබා තිබෙනවා. එම සටහන පහතින්.

“මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් කොටියෙක්ද (එල්.ටී.ටී.ඊ.නොවේ), කවටයෙක්ද, නොඑසේ නම් මොලේ අමාරුකාරයෙක්ද යන්න අපට නොතේරේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිරෝධායනයට ලක්ව සිටීමට නියමිතව සිටින සිය දියණියද සමග ඉකුත් සඳුදා හෙතෙම මැතිවරණ කොමිසමට පැමිණියේය. ඔහු මේ ගමන ආවේ යාපනය මැතිවරණ කාර්යාලයට අයත් වාහනයකින් බව දැනගන්නට තිබේ. කොරෝනා නිරෝධායනයට ලක්ව සිටින අයකු සමග ප‍්‍රසිද්ධ ස්ථානයක සංචාරය කරන්නා එක්කෝ පල්ම පල් ගොබ්බයෙකි; නොඑසේ නම් මරාගෙන මැරෙන බෝම්බකරුවකි.

නිරෝධායනයේ පරමාර්ථය ඇඟ තුළ ලෙඩක් තිබේ නම් එය මතුවීම පිණිස නිවාඩු පාඩුවේ කල් දීමය. එනම් නිරෝධායනයේ යෙදී සිටින්නාට කොරෝනාව සියයට පනහක් තිබෙන්නටත් පුළුවන. සියයට පනහක් නොතිබෙන්නටත් පුළුවන. ඒ විග‍්‍රහයට අනුව බලන කළ නිරෝධායනයේ යෙදෙන සිය දියණිය සමග ආණ්ඩුවේ වාහනයකින් මැතිවරණ කොමිසමට පැමිණීමෙන් හූල් භයානක අපරාධයක් කර තිබේ.

Giraya News Alerts

ආණ්ඩුවේ වාහනයකින් සිය දියණිය ප‍්‍රවාහනය කිරීමට රත්නජීවන් හූල්ට ඇති අයිතිය කුමක්ද? යහපාලන ආණ්ඩුවේ අග හරියේදී මහින්ද රාජපක්ෂලා ජනාධිපති මෛත‍්‍රී සමග එක්ව ආණ්ඩුවක් පිහිටවූ අවස්ථාවේදී රත්නජීවන් හූල් එයට විරුද්ධව නීතිඥයකු උසාවි යැවූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මහා පරිමාණයෙන් පෙනී සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදය, කාන්තා විමුක්තිය, ගෘහස්ථ හිංසනය, රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම, භාෂණ නිදහස, සිවිල් අයිතිවාසිකම් යනාදිය ගැන ඕනෑවට වඩා නටන එකා ගැන අප නිතරම සැක කළ යුතු අතර එයට හේතුව ලැබෙන මුල් අවස්ථාවේදීම ඒකා ඉහත සඳහන් වැරදි වලින් එකක් හෝ කිහිපයක් කිරීමට පෙළඹෙන බැවිනි. රත්නජීවන් හූල් මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී එහි සේවකයන් විසින් පලවා හරින ලද බව දැනගන්නට තිබේ.

යහපාලන ආණ්ඩුවේ මූලිකත්වයෙන් ස්ථාපනය කරන ලද මැතිවරණ කොමිසම මාර ලෙඩක් වීගෙන එන බව පෙනෙයි. එම කොමිසමේ සාමාජිකයන් වන හූල් වැනි අය යහපත් රාජ්‍ය නිලධරයකුවන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියගේ බෙල්ල පාගාගෙන සිටින බව පෙනෙයි. හූල් පලවා හරිමින් ජාතික සෞඛ්‍ය උදෙසා පුළුල් මෙහෙවරක් කළ මැතිවරණ කොමිසමේ සේවක මණ්ඩලයට අපි හිස නමා ආචාර කරමු.

…………………………………….

රාජපක්ෂ ආණ්ඩුව කොටි සංවිධානය විනාශ මුඛයෙහි ඔබා යුධ ජයග‍්‍රහණය අත්පත් කරගෙන එකොලස් වසරක් සම්පූර්ණවී ඇති මේ මොහොතේදී වැදගත් කාරණයක් කිව යුතුව තිබේ. ඒ වූ කලී රණවිරුවන් පාවා දෙන, රට පාවා දෙන, රටේ ඉතිරිව ඇති ඉතාම ස්වල්පයක් වූ හොඳ නම කැත කරනු පිණිස අසූචි තවරන සිංහල කොටින් සමූහයක් රට තුළ වර්ධනය වෙමින් සිටින බවය.

නැසී ගිය මරාගෙන මැරෙන දෙමළ කොටින්ගේ තැන ගෙන සිටින මේ කුහක හිඟන කැළ යුධ ජයග‍්‍රහණයත් සමගම ඉතා සුළුවෙන් මතුවී යහපාලන ආණ්ඩු සමය තුළ මහත් සේ වර්ධනය වූ සිකනල්ලූ‍ වෙති. ලංකාවේ සිවිල් සමාජය නමැති ගන්ධබ්භ රැළ සමග එක්ව සිටින මේ අය රටට එරෙහිව කැලෑ පත්තර ගසමින්ද පිට රට උසාවි වල රටට එරෙහිව නඩු දමමින්ද එසේ දැමූ නඩු ඇත්නම් රටට එරෙහිව ඒවායෙහි සාක්ෂි දෙමින්ද ජීවිකාව උපයා ගනිති. 2015 දී බලයට පත්වූ යහපාලන ආණ්ඩුව කළ කුණු වැඩ වලින් කුණුම වැඩය වූයේ මැයි 19 දාට යෙදුනු යුධ ජයග‍්‍රහණ සැමරුම අවලංගු කිරීමය.

මේ දිනවල උදේ හවස සී.අයි.ඞී යන හිටපු ෆැෂන් ඩිසයිනර් කෙනකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු වූ මංගල සමරවීර ද රණවිරු සැමරුම් දිනය මකා දැමීම සඳහා සෑහෙන වැඩක් කළ දකුණේ කොල්ලකු බව අප මේ අවස්ථාවේදී සිහිපත් කරන්නේ යුධ ජයග‍්‍රහණයට මුල්වූ දකුණේ සෙසු කොල්ලන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ සිහිපත්වූ නිසාය. යහපාලන ආණ්ඩුව හෙන ගැහුවාක් බඳුව ඇද වැටෙන තුරුම අවුරුදු පහක් පමණ යුධ ජයග‍්‍රහණය සැමරුනේ නැත.

යුද්ධය නිසා වැන්දඹුවෝ දස දහසකට වඩාද තාත්තලා නැති දරුවන් විසි දහසකට වඩාද ලක් පොලොව මත ඉතිරි වූ බව ඔබ දන්නෙහිද? ගිය ආණ්ඩුව අපරාධ රැසක් කළ ආණ්ඩුවකි. (එයින් අප කියන්නේ මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් බව නොවේ) මහා බැංකුව කැඞීම, රාජ්‍ය දේපොළ විකිණීම ඇතුළු භෞතික වැරදි රැසක් ඔවුහු කළහ. රණවිරු සැමරුම් දිනය මකා දැමීම භෞතික අපරාධයක් නොව ආධ්‍යාත්මික අපරාධයකි. ඇත්තටම අවුරුද්දේ හැම දිනයක්ම රණවිරු සැමරුම් දිනයකි. ප‍්‍රභාකරන්ගේ මිනී මරුවෝ අවුරුද්දේ හැම දිනකම යුධ සෙබළුන් එකෙක් හෝ කීපදෙනෙක් මැරූහ.

යුද්ධයේ මැද හරියේ සිට අවසන් හරිය දක්වා රත්නජීවන් හූල් වැනි අය සිටියේ පිට රටය. අද ඔවුන් ආපසු පැමිණ සිටින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවෙන් පලි ගැනීමට යැයි කෙනකු කීවොත් ඒ කතාවට විරුද්ධ වන්නට අපට පුළුවන. එහෙත් අප එසේ විරුද්ධ වන්නේ මහජනතාවගෙන් ගුටි කෑමටද බලාගෙනය.”

දිවයින කතුවැකිය

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top