මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් 350 දෙනෙකුට වැඩි පිරිසකට කොරෝනා වෛරසය ශරීර ගතවී ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයට වාර්තා වී තිබේ.
මෙලෙස වාර්තා වී ඇති රෝගීන්ගෙන් වැඩි පිරිසක් සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි ය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් 200කට වැඩි පිරිසක් ශ්‍රී ලාංකිකයින් වේ. එසේම, කටාර් රාජ්‍යයෙන් 35ක් , සෞදියෙන් 12ක් , ඇතුළු අනෙකුත් රටවල් වලින් ද කොරෝනා වෛරසය ආසාදිත වූ ශ්‍රී ලාංකිකයින් වාර්තා වී තිබේ.
මේ අතර, ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පහළොස් දෙනකුට කොරෝනා වෛරසය ශරීරගත වී ඇතැයි ඊයේ (21) දිනයේ දී වාර්තා විය.
වාර්තා වූ පිරිසට අමතරව තවත් වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් සිටිය හැකි බවත් ඇතැමුන්ගේ තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත නොලැබෙන බවද එහි නිලධාරියෙක් සඳහන් කළේය.
මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් සුබසාධන කටයුතුවල නිරතව සිටින තානාපති කාර්යාල නිලධාරීන් අවදානම් කටයුත්තක නියැළී සිටියි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ ද එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධන කටයුතු සලසා දීමට කටයුතු කළ එරට සිටින වෛරසය ආසාදිත වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් යැයි ද හෙළි වී ඇත.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති වරයාගේ අත්සන සහිතව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට එවා තිබෙන නිල වාර්තාවේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලාංකික නිලධාරීන් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවයි. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වාර්තා වී ඇත්තේ එම තානාපති කාර්යාලයේ සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින් අටදෙනකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවයි.
එම තානාපති කාර්යාලයේ තවත් දෙදෙනකු මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහදෙනකු මෙහි සේවය කරන බව ද වාර්තා වේ.
