ශාසන පරිහානියට කටයුතු කරන භික්ෂූ වේශධාරීන් පිළිබඳව විස්තර පිළිබඳව නිකායේ අදාළ අංශ දැනුවත් කර, එබඳු ශාසන විලෝපනයෙහි යෙදෙන්නන් නිකායේ ලියාපදිංචි වී ඇත්නම් ඒ සියල්ලන් නිකායෙන් නෙරපීමට පියවර ගැනීමට කටයුතු යොදන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේඛකාධිකාරී පූජ්‍ය අත්තංගනේ සාසන රතන නායක හිමිපාණන් විසින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් අනුව නිකායේ සියලුම නායක හිමිපාණන් වහන්සේලා වෙත නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
එම සම්පූර්ණ නිවේදනය මෙසේ ය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් කෙරෙන ශාසනික නිවේදනයයි
මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, විනය විසාරද, අතිපූජ්‍ය නාපාන පේමසිරි මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි නිකායේ විශේෂාධිකාරී මණ්ඩල, පළාත් සංඝ නායක, කාරක -පාලක සංඝ සභික ප්‍රාදේශීය සංඝ සභා ලේඛකාධිකාරී, සාමාජික ස්වාමීන් වහන්සේලාගේ විශේෂ අවධානය පිණිස කෙරෙන නිවේදනයයි.
ගරු නායක ස්වාමින්ද්‍රයන් වහන්ස,
ප්‍රිය ස්ථවිරපාදයන් වහන්ස,
දැනටමත් ගරු ඔබ වහන්සේ ද දන්නා පරිදි වර්තමානයෙහි සම්බුද්ධ ශාසන පරිහානියට මෙන්ම භික්ෂු ගෞරවයට හානි වන අන්දමේ කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. භික්ෂුන් වහනේසේ ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආකාරයේ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා තුළ සහ විද්‍යුත් හා මුද්‍රිත ආදී විවිධ මාධ්‍යයන් මඟින් දැක ගැනීම සුලභ වෙමින් පවතී. ලාභාපේක්ෂාවම අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වභාවයන් නිසා එම පුද්ගලයින් හා කණ්ඩායම් සම්බුද්ධ ශාසනයට ද භික්ෂු ගෞරවයට ද සිදු කරන හානිය සුළු පටු නොවේ.
මේ දුර්වීනිත, අධර්මවාදී, අවිනයවාදී භික්ෂු වේශධාරීන් වෙනුවෙන් මේ අවස්ථාවේ දී අපට කළ හැකි වන්නේ අප නිකාය තුළ එබඳු අය ලියාපදිංචි වී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්නේ සාමණේර/උපසම්පදා ලියාපදිංචියක් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුවේ ඇත්නම් එය අවලංගු කොට නිකායෙන් නෙරපා හැරීමය. ශාසන පරිහානියෙහි උපයුක්ත එබඳු භික්ෂු වේශධාරීන් නිකායෙන් නෙරපා හැරීම පිළිබඳ පූර්වාදර්ශයන් නිකායේ ඈත සහ මෑත ඉතිහාසයේ තිබේ. ශාසන සංශෝධනයක ඉක්මන් අවශ්‍යතාවය පැන නැඟි ඇති මේ මොහොතෙහි ඔබ වහන්සේගේ සංඝ සභා බල ප්‍රදේශය තුළ එබඳු පුද්ගලයින් හෝ කණ්ඩායම් සිටියි නම් ඒ පිළිබඳව විස්තර සහිතව නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙස ද, එබඳු ශාසනවිලෝපනයෙහි යෙදෙන්නන් අප නිකාය මඟින් ලියාපදිංචි වී ඇත්නම් ඒ සියල්ලන් නිකායෙන් නෙරපීමාදී කතිකානුකූල පියවර ගැනීමට නිකාය මඟින් කටයුතු යොදනු ඇති බව ද මෙයින් ශාසනාලය පෙරටුව දන්වා සිටිමි.
මේ වගට,
අත්තංගනේ සාසනරතන නායක මහස්ථවිර
මහා ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය

