Advertise with Giraya
NEWS

නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා වැළඳුන ආකාරය තහවුරු වී නැහැ

පසුගියදා (18) විජයග්‍රාහී සැමරුම් උළෙලේ පුහුණුවීම් සඳහා සහභාගී වූ නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සෙබළුන් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර තිබූ අතර ඔවුන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේ දී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු විය.

මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී නිවාඩු ගොස් යළි කඳවුරු වෙත කැඳවා තිබුණ අතර ඔවුන්ව මරදාන ප‍්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට ආසන්න කාලයක් නිරෝධායනයට ලක් කර තිබූ බව සෙබළුන් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

එලෙස නිරෝධායනයට ලක් කර තිබු පිරිස විජයග‍්‍රාහී සැමරුම් පෙළපාලියට අනුයුක්ත කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කර ඇති අතර එහිදී මෙම සෙබළුන් දෙදෙනා පමණක් කොරෝනා ආසාදිතයින් ලෙස හෙළිවී තිබුණි.

මෙම සෙබළුන් පුරා මාසයක කාලයක් නිරෝධායනයට ලක් කර තිබීම සහ ඔවුන්ට පිටත සමාජයට නිරාවරණය නොවී තිබීමේ පසුබිමක් තුළ කොරෝනා ආසාදිතයින් බවට පත්වීම ප‍්‍රහේලිකාවක් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

ඔවුන්ගේ ජෛව සාම්පල් යලිත් වරක් PCR පරීක්ෂණයන්ට යොමු කර ඇති බවත් එහි ප‍්‍රථිපල අද (21) රාත‍්‍රියේදී ලැබෙනු ඇති බවත් ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන මේ වන විට 237 ක් වේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින නාවික හමුදා නිලධාරීන් නිරෝධායනය සඳහා වෙනත් කඳවුරු වෙත යොමු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැලිසර නාවික හමුදා කඳවුරේ කටයුතු පවත්වාගෙන යාම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රමුඛ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කරයි.

යුද හමුදාවේ ද සහයෝගයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත නාවික හමුදා සෙබළුන් යොමු කරන බව ද ඔහු සඳහන් කළා.

නාවික කදවුරු ආශි‍්‍රතව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවකින් ලබාගත් වාර්තාවක් මත පදනම්ව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් නිර්දේශ ලබාදී තිබෙනවා. එම නිර්දේශ දැඩිව කි‍්‍රයාත්මක කළයුතු බවටත් එය එසේ සිදුවන්නේ දැයි පරීක්‍ෂා කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top