සහල් තොග සඟවාගෙන සිටින වී මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සදහන් කරයි.
ඔහු සඳහන් කළේ අද (20) දිනයේ සිට දිවයින පුරා ඒ සඳහා වැටලීම් සිදුකිරීමට කටයුතු කරන බවයි.
පසුගිය කාලය තුළ පමණක් වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 770කට පමණ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
වෙළඳපොළ තුළ කෘත්‍රිම සහල් හිගයක් මවා පෑමට උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳව ද නීතිය ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වන විට වෙළඳපොළ තුළ සහල් හිඟයක් මතුව තිබෙන අතර ප්‍රදේශ රැසක සම්බා, නාඩු සහ කැකුළු සහල් හිඟයක් තිබෙන බව වාර්තා වේ. වාර්තා වන අන්දමට වෙළඳුන්ට පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමත් සමග මෙම සහල් හිඟය නිර්මාණය වී ඇත.
අප්‍රේල් මස 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග කිහිපයක් සඳහා රජය විසින් උපරිම මිලක් නියම කරනු ලැබුවේය. ඒ අනුව සම්බා සහ නාඩු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 90 මිලක්ද, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85 ක මිලක් ද නියම කර තිබේ.
කෙසේවෙතත්, සහල් අලෙවිසැල් හිමියන් පවසන්නේ වී මෝල්හිමියන් විසින් සහල් කිලෝවක් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ ද උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට බවයි. එමනිසා, පවතින මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව සහල් වෙළඳුන් පවසයි.
මේ සම්බන්ධයෙන් වී මෝල්හිමියන් සදහන් කරන්නේ වී කිලෝවක් සදහා ගෙවන මිල ඉහළ යාමත් සමඟ සහල් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය වැඩි වී ඇති බැවින් අඩු මිලට වෙළඳපොලට සහල් නිකුත් කිරීමේ හැකියාවක් නොපවතින බවයි.
