Advertise with Giraya
POLITICS

අද නූතන අජාසත්තලාගේ වුවමනාව වෙනුවෙන් ‘සංඝ කල්ලියක්’ ඇති වෙලා – මංගල සමරවීර

පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමේ දී මංගල සමරවීර විසින් පවසන ලද ‘සංඝ කල්ලිය’ යන වචනය යොදා ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතාබහට ඔහු විසින් ප්‍රතිචාරයක් ලබා දී තිබේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ, බෞද්ධ දර්ශන 21 වැනි සියවසට ගැළපෙන එකම දර්ශනය වුවත් අද එය මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ අතට පත් වී තිබෙන බවයි. එමෙන්ම, බෞද්ධ දර්ශනය අභියෝග කරපු ‘සංඝ කල්ලි’ බුදුන් වහන්සේගේ කාලයේ සිටම තිබූ බවත් ය.

මේ සම්බන්ධයෙන් ඔහු පළ කරන අදහස් මෙසේය.

Giraya News Alerts

පසුගියදා සීඅයිඩී CID පරීක්ෂණයෙන් පසුව මම මාධ්‍යයට කරපු ප්‍රකාශය “සංඝ කල්ලිය” කියන වචනය අද යම් යම් මාධ්‍යවල විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම වරින්වර බෞද්ධ දර්ශනයට අභියෝග කරන “සංඝ කල්ලි“ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලාම තිබුණා. අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ දේවදත්ත එවකට හිටපු භික්ෂුන් වහන්සේලා එක්දාස්දෙසිය පනහෙන් හත්සියපහක්ම මේ කල්ලියට එකතු කරගෙන එවකට හිටිය අජාසත්තගේ න්‍යාය පත්‍රයට අනුව බුදුහාමුදුරුවන්ට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා.

ඒවගේම අපි අහල තියෙනවා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගේ කාලයෙත් මෙවැනි “සංඝ කල්ලි“ ඇති වෙලා බෞද්ධ දර්ශනයට විශාල අභියෝගයක් ඇති වුණ නිසා භික්ෂුන් වහන්සේලා හැටදාහකට වඩා ප්‍රමාණයක් “හණගහලා” පරාක්‍රමබාහු රජ්ජුරුවෝ සසුනෙන් නෙරපුවා. ඒ තුළින් යළි වතාවක් බෞද්ධ දර්ශනය, බුද්ධාගම බේරගන්නට හැකියාවක් ලැබුණා. මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට පොළොන්නරුවේ ගල්පොතෙහි සඳහන් වන “පොළොන්නරු කතිකාවෙන්” මෙහි සත්‍ය අසත්‍ය සොයා ගන්නට පුළුවන්. ඒ වගේම අදත් නූතන අජාසත්තලාගේ වුවමනාව වෙනුවෙන්, නූතන කුඩු මුදලාලිලාගේ වුවමනාව වෙනුවෙන්, නූතන ගංජා මුදලාලිලාගේ වුවමනාව වෙනුවෙන් තවත් “සංඝ කල්ලියක්” මේ රට තුළ ඇති වෙලා, “වොයිස්කට්” එකටත් මුදල් ලබාගන්න “ප්‍රෙස් කොන්ෆරන්ස්” එකකටත් මුදල් ලබාගන්න.

ඒ වගේම සුඛෝපභෝගී වාහන ලබාගන්න මේ “සංඝ කල්ලිය” යළි වතාවක් අපගේ ශේ‍ර්ෂ්ඨ වූ බුද්ධ ධර්මයට මහා අභියෝගයක් වෙලා තියෙනවා. බෞද්ධ දර්ශනය 21 වැනි සියවසට ගැළපෙන එකම දර්ශනය හැටියටයි මම දකින්නේ. අවාසනාවකට අද වෙනකොට එය මිථ්‍යා දෘෂ්ටිකයන්ගේ අතට පත්වෙලා තියෙනවා. එය ජනතාව රවට්ටන්නට දේශපාලන වශයෙන් නොමඟ යවන්නට පවා ආයුධයක් බවට පත්කරගෙන තියෙන මොහොතක මේ “සංඝ කල්ලිය” පරාජය කිරීම සඳහා මේ රටේ සිටින බහුතරයක් වූ බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි ඇත්ත වශයෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ ස්වාමීන් වහන්සේලාගෙත් වගකීමක්. මමත් පරම්පරාගත බෞද්ධයෙක්. ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක්, කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ. අන්න ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ වෙලාවේ මේ තියෙන භයානක අභියෝගයෙන් බුදු දහම බේරගන්නට ඕනේ කියලා මම විශ්වාස කරනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top