කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඊයේ (18) දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබළුන් බවත් අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණි අයෙකු බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 98 දෙනෙකු අද (19) සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බව ද යුද හමුදාපතිවරයා සඳහන් කරයි.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 992ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 424ක් වන අතර සුවය ලැබූ ගණන 559 ක් වේ.
දැනට හඳුනාගත් රෝගීන් අතරින් 540 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
සමස්ත ආසාදිතයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 150ක් වේ. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 36 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු සමස්ත ආසාදිතයින් අතර වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
කෙසේවෙතත්, පසුගිය අප්‍රේල් මස 30 වනදායින් පසු මේ දක්වා කාලය තුළ නාවික හමුදා සහ නිරෝධායන මධ්‍යස්ථාන නියදිවලින් බාහිරින් කිසිදු ආසාදිතයෙකු හඳුනා ගෙන නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
