Advertise with Giraya
NEWS

යහපාලන ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරය අප කිසිසේත්ම අමතක කර නැත – අගමැති මහින්ද රාජපක්ෂ

යහපාලන ආණ්ඩුව විසින් ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් කිිසිසේත්ම අමතක නොකරන බව යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතා සඳහන් කරයි.

එමෙන්ම, අගතියට පත් සියලු පිරිස්වලට යුක්තිය ඉටු කරන බව අග්‍රාමත්‍යවරයා විසින් ප්‍රතිඥා දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතා විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වෙයි.

Giraya News Alerts

“දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය අපි මැයි 19 වන දා සමරන්නෙමු.
එය දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක් නොව ඇමරිකාවේ එෆ්.බී.අයි ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කරනු ලැබූ සංවිධානයකට එරෙහි යුද්ධයක් විය.

කොටි සංවිධානයේ පරාජය නිසා දෙමළ ජනතාවටද දැන් නිදහසේ ජීවත් වීමට ඉඩ ලැබී ඇත.

දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලනඥයින් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ නැත.

කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණ පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලයද නැවතත් තහවුරු වී ඇත.

කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගැනීමෙන් මුළු ලෝකයම මවිත කළ ඒ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අද කොවිඩ්-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශත් සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වී සිටි.

මේ අවස්ථාවේ සියලුම කරුණු වලින් පෙනෙන්නේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 සටනින්ද ජයග්‍රහණය කරමින් සිටින බවයි.

මහජනතාව අතර රෝගය පැතිරීම වැලැක්වීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය සිදුකරන පෙරමුණු බළඇණි කාර්යභාරය, කොවිඩ්-19 රෝගය මේ ආකාරයට පාලනය කිරීමට සෞඛ්‍ය අංශ වලට අතිමහත් පිටිවහලක් වූ බව අවිවාදාත්මකය.

මෙයින් නැවත වතාවක් තහවුරුවන කාරණය වන්නේ ත්‍රස්තවාදයක්, ගංවතුරක්, හෝ වසංගතයක් වේවා, සෑම ආපදා අවස්ථාවකම ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරකිමින් පෙරමුණේ සිටින බවයි.

මේ නිසා, අපේ සමාජය තුළ ‘සිවිල්’ හා ‘මිලිටරි’ වශයෙන් කෘතිම භේදයක් ඇති කිරීමට යහපාලන දේශපාලන පක්ෂ අද ගනිමින් සිටින දුෂ්ඨ උත්සාහය මම හෙලා දකිමි.

කුමක් හෝ තනතුරකට ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරියකු පත් කළහොත් එය ‘මිලිටරිකරණයක්’ හැටියට ඔවුන් හඳුන්වති. ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවේ.

එදා සිටි සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්වී සිටි.

එමනිසා අපේ ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරණු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් පැමිණි සියලු අභියෝග පරාජය කොට මේ රටේ ජනතාවගේ සර්වජන ඡන්දය මත පදනම් වූ පරමාධිපත්‍ය බලය රැක දීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඓතිහාසිකව කර තිබෙන කාර්යභාරයත් අපි මෙහිදී සිහිපත් කළ යුතුය.

මුළු ලෝකයම මවිත කළ යුද ජයග්‍රහණයේ එකොළොස් වන සංවත්සරය සමරන මේ අවස්ථාවේ යහපාලන ආණ්ඩුව අපගේ ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට හා අවමානයට ලක් කළ ආකාරයත් අප කිසිසේත්ම අමතක කර නැත.

ඒ අගතියට පත් සියලු පිරිස් වලට යුක්තිය ඉටු කරන බවට අපි නැවතත් ප්‍රතිඥා දෙමු.“

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top