කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියත් සමග බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බව තේ අපනයනකරුවන් සඳහන් කරයි.
වාර්ෂිකව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරන අතර, ඉන් ඇමරිකානු ඩොලර් බිලියන 1 දශම 5 වාර්ෂික ආදායමක් මෙරටට හිමි වේ.
කෙසේ නමුත්, පසුගිය කාලයේදී මෙරට අමු තේ දළු කිලෝ ග්‍රෑමයක මිල ගණන් සීඝ්‍රයෙන් පහත වැටුණු අතර අද වන විට මිල ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
කොළඹ තේ වෙන්දේසියේදී අමු තේ කොළ කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85ත් 100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේදී රුපියල් 130 දක්වා ඉහළ ගොස් ගියේය.
එමෙන්ම, නිමි තේ කිලෝ ග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350ත් 500ත් අතර මිලද රුපියල් 750 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම, රත්නපුර දෙල්වල නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන බී.ඕ.පී. 1 කාණ්ඩයේ නිමි තේ කිලෝ ග්‍රෑමයක් රුපියල් 2600 කට මිල නියම වී තිබුණි. එය පහතරට තේ සඳහා ලැබුණු ඉහළම මිළ බවයි එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය සඳහන් කළේය.
තේ වෙන්දේසියේදී තේ අපනයනකරුවන් උපයන මුදලින් 68%ක් හිමිවන්නේ කුඩා තේ වතු හිමියන්ට වීම නිසා ඔවුන්ගේ අතමිට සරු වී තිබේ.
