කෝවිඩ් 19 වෛරසය පැතිරීම පාලනය කිරීම උදෙසා සේවා සැපයීම අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කාර්යයන් සිමිත කාර්යමණ්ඩලයක් යොදා ගනිමින් යම් යම් සීමාවන්ට යටත්ව 2020.05.20 වන දින සිට නැවත ආරම්භ කරන බව එම දෙපාර්තුමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
ඒ් අනුව, වාහන ලියාපදිංචි කිරිම, රියදුරු බලපත්‍ර නිකුත් කිරිම, වාහන අංක තහඩු නිකුත් කිරිම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබා දීම ඇතුළු සේවාවන් ලබා ගැනීමට පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ ඉඩ ප්‍රස්ථාව හිමි වේ. නමුත්, ඒ සඳහා පහතින් දක්වා ඇති දුරකථන අංකයන්ට පළමුව අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත යුතු බව එම දෙපාර්තුමේන්තුව විසින් දන්වා ඇත.
තවද, දිනයක් වෙන් කරවා ගැනීමේ දී රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික හැඳූනුම්පතේ පිළිවෙලට අනුව එම දිනය වෙන් කරවා ගත යුතු බවත් දෙපාර්තුමේන්තුව විසින් දිනයක් වෙන් කරවා තිබීම ඇඳිරි නීති අවස්ථාවේදී ගමනාගමනය සඳහා ලබා දෙන අවසර පත්‍රයක් ලෙස භාවිතා කළ නොහැකි බව ද එම නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.

එම ක්‍රියාවලියෙන් පරිබාහිරව කිසිදු හේතුවක් මත සේවාවන් සැපයීම සිදු නොකරන බවත් එම දෙපාර්තුමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද එක්දින සේවාව නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක නොවන බවත් නිවේදනය කර තිබේ.
එමෙන්ම, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාවට අදාළව සහන කාල සීමාවක් ලබා දී තිබෙන හෙයින් අනවශ්‍ය කලබලකාරී තත්ත්වයකින් තොරව රජය විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් සී.කේ අලහකෝන් ඉල්ලීමක් ද සිදු කර තිබේ.
