Advertise with Giraya
NEWS

පසුගිය දෙසතිය තුළ බාහිර සමාජයෙන් ආසාදිතයින් වාර්තා වී නැහැ

ගෙවී ගිය සති දෙකක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණු කොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු වී නොමැති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරටින් හඳුනාගැනුණු කොවිඩ් ආසාදිතයන් ගණන මේ වන විට 916 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 515 දෙනකුම නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.

ඊයේ (13) දිනයේ දී මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 900 සීමාව ඉක්මවා ගියේය.

මෙරටදී කොවිඩ් වැළඳුණු පළමු ශ්‍රී ලාංකිකයා මාර්තු මස 11 වැනිදා හමුවීමෙන් පසු,

  • පළමු ආසාදිතයින් 100 දෙනා දින 14 ක කාලයක් තුළ ද,
  • දෙවැනි ආසාදිතයන් 100 දෙනා දින 18 ක කාලයක් තුළ ද,
  • තුන්වැනි ආසාදිතයින් 100 දෙනා දින 9 ක් කාලයක් තුළ ද,
  • සිව්වැනි ආසාදිතයින් 100 දෙනා දින 4 ක කාලයක් තුළ ද,
  • පස්වැනි ආසාදිතයින් 100 දෙනා දින 2 ක කාලයක් තුළ ද,
  • හයවැනි ආසාදිතයින් 100 දෙනා ද දින 2 ක කාලයක් තුළ ද,
  • හත්වැනි ආසාදිතයින් සිය දෙනා සහ අටවැනි ආසාදිතයන් සිය දෙනා දින 5 ක් තුළ දී ද ,
  • 9 වැනි ආසාදිතයන් සිය දෙනා දින 7 ක් තුළදී ද වාර්තා විය.

ඒ අනුව, පසුගිය මැයි 07 වනදා සිට අද දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 118 ක් වේ.

ඒ අතරින් 114 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.
එනම් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 07 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් සිව් දෙනකු පමණක් වීම විශේෂත්වයකි.

ඔවුන් සිව් දෙනාද ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි පසුගිය 07 වනදා දිවයිනට ගෙන්වා ගැනුණු පිරිසට අයත් පුද්ගලයින් වේ.

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් හඳුනාගැනීමේ නිරත වූ නාවික හමුදා භට පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා ආසාදිත සෙබළා හඳුනාගැනුණු ඉකුත් අප්‍රේල් 22 වැනිදා සිට අද දහවල් 12.30 දක්වා කාලය තුළ අලුතින් හදුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් ගණන 607 ක් වේ. එම හඳුනාගත් රෝගීන් අතරින් 514 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.

එනම්, වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට වෛරසය වැළඳීමෙන් පැතිර ගිය නියැදිය හැරුණු කොට ගෙවුණු දින 22 ක කාලය තුළ බාහිර නිරෝධායන කඳවුරු හා ක්ෂේත්‍ර පරීක්ෂණයන්ගෙන් හමු වී ඇත්තේ කොවිඩ් ආසාදිතයන් 93 දෙනකු පමණි.

එමෙන්ම, දින 14 ක කාලය තුළ නාවික හමුදා නියැදිය හා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නියැදිය හැරුණු කොට බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයකු හමු වී නොමැත.

ඊයේ (13) දිනයේ දී ද කෝවිඩ් 19 ආසාදිත 26 දෙනකු හඳුනාගත් අතර ඒ සියලු දෙනා ද වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයින් වේ.

අද (14) දිනයේ දී ද තවත් කොවිඩ් ආසාදිතයකු හඳුනාගෙන ඇති අතර ඒ පොල්ගහවෙල පදිංචි නාවික හමුදා සාමාජිකයකුගේ දරුවකු වන වයස අවුරුදු එක හමාරක බිලිඳෙකි.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගියේය.

අද (14) පෙරවරුවේ දි තවත් රෝගීන් 63 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත සංඛ්‍යාව 445 ක් දක්වා ඉහළ ගිය අතර අද සුවය ලබා රෝහල් වලින් පිට ගිය පිරිසට නාවික රෝහලෙන් 44 දෙනකු , වැලිකන්ද මුලික රෝහලේ ස්ථාපිත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 05 දෙනකු ,හෝමාගම මුලික රෝහලේ ස්ථාපිත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්තානයෙන් 05 දෙනකු, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් සිව් දෙනකු , නැගෙනහිර කොළඔ මුලික රෝහලේ ස්ථාපිත කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්තානයෙන් තිදෙනකු , ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් දෙදෙනකු අයත් වේ.

එම පිරිසට කොවිඩ් – 19 වෛරසය ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සාමාජිකයින් 59 දෙනෙකු අයත් වේ. ඒ අනුව කොවිඩ් 19 ආසාදිතව හදුනාගත් නාවික හමුදා සාමාජිකයින් 480 දෙනා අතරින් මෙවන විට සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 121ක් වේ.

එසේම, සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් නාවික හමුදා සාමාජික පවුල් වල පුද්ගලයන් 223ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව ගොස් තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top