රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තම පියා වන රාජිත සේනාරත්න වෙනුවෙන් නීතියේ දෙවඟන යුක්තිය ඉටුකරන තෙක් බලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) දිනයේ දී හිටපු ඇමති රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අධිකරණයේ ස්වාධීනත්වය තුළින් අනාගතයේ දී රාජිත සේනාරත්නට යුක්තිය ඉටුවේ යයි තමන් බලාපොරොත්තු වන බවයි. එසේම, රාජිත සේනාරත්න බන්ධනාගාර ගතකිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂගේ ජුන්ටාව පරාජය වූ බව ද ඔහු සඳහන් කළේය.
ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මෙම සිදුවීමේදී එකට එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබීම බවයි. මෙතෙක් දෙකට බෙදී කටයුතු කල විපක්ෂය අද එකාවන්ව රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු කියා සිටියේය.
