Advertise with Giraya
NEWS

රනිල් ඇතුළු 19 ක් ගැන FCID හි වසා දමා ඇති පැමිණිලි පිළිබඳ කඩිනම් විමර්ශන අරඹයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, රාජිත සේනාරත්න, තලතා අතුකෝරල හා පී. හැරිසන් ඇතුළු පැවැති රජයේ හිටපු ප්‍රබලයන් “දහනව දෙනකුට” එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ (එෆ්.සී.අයි.ඩී.) ගොනු කර වසා දමා ඇති පැමිණිලි පිළිබඳ කඩිනමින් විමර්ශන ආරම්භ කරන බවට වැඩබලන පොලිස්පතිවරයා පොරොන්දුවූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා “මව්බිම” පුවත්පතට පවසා ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ අදාළ පැමිණිලි සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීමට පසුගිය 12 වන දා වැඩබලන පොලිස්පතිවරයා හමුවීමෙන් පසුව පොලිස්පතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි.

එහිදී, පසුගිය සමයේ යහපාලන රජයේ වංචා, දූෂණයන්ට සම්බන්ධ රජයේ ප්‍රධානීන් පිළිබඳ සවිස්තරාත්මක සාක්ෂි සහිතව භාරදුන් පැමිණිලිවලට අදාළ ලිපිගොනු කිසිවක් පරීක්ෂා නොකර වසාදැමීමට පියවර ගෙන තිබූ බව වැඩබලන පොලිස්පතිවරයා පිළිගත් බවත් ඇතැම් ලිපිගොනු සතියක් ඇතුළත පරීක්ෂණ නොමැතිව සී.අයි.ඩී. සඟවා දමා ඇති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Giraya News Alerts

එමෙන්ම, පසුගිය රජයේ ‘ටොප් ටෙන්’ චෝදනා ලැයිස්තුවේ සිටි යහපාලන රජයේ ප්‍රබලයන් දසදෙනාට ලිපි යැවූ බවට එෆ්.සී.අයි.ඩී.ය සඳහන් කළද එවැනි කිසිදු ලිපියක් මෙතෙක් චෝදනා ලැබූවන්ට යවා නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න ඇතුළු නිලධාරීන් මෙම අතපසුවීම්වලට වගකිව යුතු බවද හිටපු රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නිලධාරීන්ට පමණක් නඩු පැවැරුව ද දේශපාලකයන්ට නඩු පවරා නොමැති බව ද මෙහිදී වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කළ බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ, සුජීව සේනසිංහ, අජිත් පී. පෙරේරා හා හෙක්ටර් අප්පුහාමි වැනි චෝදනා ලැබූ සහ පාද සටහන් තැබූ සියල්ලන්ට එරෙහිව කඩිනමින් චෝදනා පත්‍ර නීතිපතිවරයා වෙත යවා නඩු පැවැරීමට පියවර ගන්නා බවට වැඩබලන පොලිස්පතිවරයා පොරොන්දු වූ බව ද සඳහන් කරයි.

එමෙන්ම, මෙම සිදුවීම් සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිලි අස්ථානගත වීම සහ වසා දැමීම පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා විමතිය පළකර ඇති අතර ඊට වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව පොරොන්දු වූ බව ද මහින්දානන්ද අලුත්ගමගේ පවසා තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top