රටේ පවත්නා තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය නිසි අයුරින් ඉදිරියට ගෙන යෑමට රජයට නිසි වැඩපිළිවෙලක් නොමැති වීම හේතුවෙන් දරුවන් මානසික අතින් කඩාවැටීමකට ලක් වී ඇති බවත් දෙමාපියන් කළකිරී ඇති බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.
එහිදී, අදහස් දක්වමින් ඔහු, “විෂය නිර්දේශය සම්පූර්ණ කරන්නේ නැතිව අඩු ගුණාත්මකභාවයෙන් අධ්‍යාපනය ලබා දීලා දූ දරුවන්ව පහේ ශිෂ්‍යත්ව විභාගයට උසස්පෙළ විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට යොමු කිරිම සාධාරණ ද? යුක්ති සහගත ද? අද අපේ දරු දරුපරපුර මානසික අතින් වැටිලා ඉන්නේ…. දෙමව්පියොත් දැඩි කළකිරීමට ලක්වෙලා සිටිනවා මොකද්ද අපේ දුවා දරුවන්ගේ අනාගතය කියලා.
අපිට මාධ්‍ය සංදර්ශන වලින් වැඩක් නැහැ. ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් ප්‍රවෘත්ති නිවේදනය වලින් අපිට වැඩක් නැහැ…මහපොළොවේ අධ්‍යාපනය නිර්ව්‍යාජව කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්නට ඕනේ. එහි වගකීම අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ බලධාරීන් භාර ගත යුතුයි. විභාග කටයුතු භාර කොමසාරිස්වරයා දැන් පැහැදිලිව දූ දරුවන්ටත් දෙමව්පියන්ටත් කියන්නට ඕනේ. මේ අකර්මන්‍ය වූ ක්‍රමවේදය තුළ විභාග පවත්වනවා ද? මේ අසාධාරණයට මොකද්ද කරන පිළියම?
මාස ගණනාවක් අධ්‍යාපන බලධාරීන්, මැති ඇමතිවරුන් නිද්‍රාශීලීව හිටියා. මැති ඇමතිවරුන් දිව්වේ ඉක්මන් මැතිවරණයක් සඳහා…නමුත් 44 ලක්ෂයක් රටේ සුවහසක් දරුවන්ගේ අධ්‍යාපනය ගැන කිසිම තැකීමක් නැහැ.පිළියම් යෙදෙව්වේ නැහැ. අලුත් ක්‍රමවේද සකස් කළේ නැහැ. කලාප කාර්යාලවලට උපදෙස් පත්‍රිකා යවමින් මාස ගණනාවක් අයාලේ ගියා. අසරණ වී සිටින්නේ 44 ලක්ෂයක් වූ දරු පරපුරත්, දෙමව්පියනුත්, ඒ වගේම උගත් බුද්ධිමත් ජන සමාජයක් උදෙසා ඇප කැප වෙන ගුරු පරපුරත්” යැයි පැවසීය.
