කුමන අසත්‍ය දෑ ප්‍රචාරය කළ ද ජනාධිපති ප්‍රමුඛ රජය විසින් ඉතා ප්‍රශංසනීය අයුරින් කොරෝනා වසංගතය ජය ගනිමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
එහිදී අදහස් දක්වමින් ඔහු, ” එදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එජාපයේ කුණු රෙදි හෝදමින් කළ කාර්යය දැන් හඳුන්නෙත්ති භාර අරන්. දැන් එයා කියන්න පටන් අරන් තියෙනවා රුපියල් බිලියන 1229ක් ජනාධිපතිවරයා සාවද්‍ය ලෙස රටේ වියදම් පියව ගන්න අරගෙන කියලා. කවුරු මොන බේගල් කීවත් ජනාධිපති ප්‍රමුඛ රජය ඉතා ප්‍රශංසනීය අයුරින් මේ ව්‍යසනය ජය ගනිමින් සිටිනවා” යැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු “අපි දියුණුයි කියලා සලකන රටවල්වලටත් වඩා අපි සාර්ථකයි. මේ වසංගතය මර්දනය කරන්න අපි සමත් වී සිටිනවා. මේ මුදලින් කිසිම වංචාවකට ඉඩ තියලා නැහැ. අපි නව පාර්ලිමේන්තුව රැස්වූ වහාම ඒ සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා. පාර්ලිමේන්තුව විසිරුවන්න කලින් රැස්වුණු අවස්ථාවේදී අගමැතිවරයා විග්‍රහ කළා යහපාලන ආණ්ඩුව විසින් ගෙවිය යුතු එහෙත් ගෙවා නැති හිඟ බිල්පත් ගැන මිලියන ගණකින් තිබුණු මේ මුදල් පියවීමට අවශ්‍ය අවසරය අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවා. ඒත් එදා තිබුණු කුහකත්වය එක්ක ජනතා විමුක්ති පෙරමුණ එජාපයත් එක්ක එකතුවෙලා ඒවා අනුමත කරන්න දුන්නේ නැතිව රජය අපහසුතාවට පත්කර එම පනත පරාජය කරන්න කටයුතු කළා. මේ කරන්නේ දේශපාලනයක්. 2019දී නොපියවූ හිඟ බිල් ගෙවන්නත් එක්කම තමයි ජනාධිපතිවරයා යටතේ අලුතෙන් මුදල් වෙන් කිරීමක් සිදුවෙලා තියෙන්නේ.” යැයි ද පැවසීය.
