Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඡන්දෙට නිල වාහන හා නිවාස ගන්න ඇමතිවරුන්ට ගෙවන්න වෙයි

එළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් මුදල් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. ඉකුත් 06 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන අතර මැතිවරණය සඳහා නිල නිවාස හා නිල වාහන භාවිතා කරන ඇමතිවරයෙක්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මනාප අංකය ලබාදීමෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් විසින් එම මුදල ගෙවිය යුතු වේ. රාජ්‍ය අමාත්‍යවරුන් සිය නිල වාහන සහ නිල නිවස මැතිවරණ කටයුතු සදහා භාවිත කරන්නේ නම් ඉකුත් මාර්තු 18 වැනිදා සිට අදාළ අය කිරීම ගෙවිය යුතුය.

එළඹෙන මහ මැතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා නිල වාහන සහ නිල නිවස භාවිත කරන්නේ නම් ඒ සදහා මසකට රුපියල් ලක්‍ෂයක් බැගින් මුදලක් ගෙවිය යුතු බවට ඉකුත් මාර්තු 18 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් පති‍්‍රකාවක් නිකුත් කරනු ලැබුවා. ඉකුත් ආණ්ඩුව ද 2015 වසරේදී මෙම ක‍්‍රමවේදයම අනුගමනය කළා.

Giraya News Alerts

එම ක්‍රමය අනුගමනය කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද අදාළ කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර ඇති අතර මෙම තීරණය අගමැතිවරයා, කැබිනට් අමාත්‍යවරු මෙන්ම හිටපු කථානායකවරයා, හිටපු විපක්‍ෂ නායකවරයා සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට ද අදාළ වේ.

2015 වසරේ එවක මැතිවරණ කොමසාරිස් වූ, වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසා තිබුණේ අග‍්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිය නිල රථය සහ නිල නිවස මැතිවරණ කටයුතු සදහා භාවිත කරන්නේ නම් ඒ සදහා මුදලක් අය කිරීම යෝග්‍ය බවයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top