ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවකයන් වෙත ඉදිරිපත් කර ඇති බලහත්කාරයට මුළු සමාජයම විරුද්ධ විය යුතුව ඇතැයි හිටපු කෝප් කමිටු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ.
එමෙන්ම, නව කොරෝනා වසංගතයට මුහුණ දීමේ දී රාජ්‍ය සේවකයන් මෙන්ම සමස්ත සමාජයම රට වෙනුවෙන් කැප කිරීමක් සිදු කර ඇතැයි ද මෙය ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ තත්ත්වයක් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
මැතිවරණයක් ප‍්‍රකාශ කර තිබෙන තත්වයක වුව ද රජයේ මැති ඇමැතිවරු රාජ්‍ය සම්පත් උපරිමයෙන් ප‍්‍රයෝජන ගනිමින් තිබිය දී ත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප පරිත්‍යාග කරන්න කියන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කර ඇති අතර ජනාධිපති ලේකම්වරයා එකී ලිපිය පුද්ගලික ආයාචනයක් ලෙස ඉදිරිපත් කළේ නම් එය ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂය යටතේ ඉදිරිපත් කළේ කෙසේ දැයි ද සුනිල් හඳුන්නෙත්ති මහතා විමසන බව එම පුවත්පත වාර්තා කරයි. එමෙන්ම, රාජ්‍ය යාන්ත‍්‍රණයට පුද්ගලික ආයාචනයක් කිරීමට හැකියාවක් තිබේ දැයි ගැටළුවක් පවතින බව ද ඔහු පවසා ඇත.
ඔහුගේ පුද්ගලික ආයාචනයක් නම් එම ලිපියෙහි පිටපත් නීතිපතිවරයාට සහ විගණකාධිපතිවරයාට යොමු කළේ මන්දැයි විමසා සිටින ඔහු පෙන්වා දෙන්නේ එම ලිපිය නීතිපතිවරයාට පිටපත් කිරීමේ තේරුම එය නීතිමය කටයුතු සඳහා යොදා ගැනීමට හැකි බව යැයිද විගණකාධිපතිවරයාට යොමු කිරීමේ තේරුම එය ගිණුම්මය වශයෙන් රාජ්‍ය මූල්‍ය විගණනයට යටත් වනවා යැයිද හඳුන්නෙත්ති මහතා පවසා ඇති බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
පුද්ගලික ආයාචනයක් විගණකාධිපතිවරයාට, නීතිපතිවරයා ට යොමු කිරීමේ තර්කය සහ නීත්‍යානුකූල භාවය කුමක්ද යන්න තවදුරටත් ප‍්‍රශ්න කරන සුනිල් හඳුන්නෙත්ති මෙම කටයුත්ත පැහැදිලි ලෙසම රාජ්‍ය බලය පුද්ගලිකව භාවිතා කිරීමක් බව චෝදනා කරයි.
මෙය ඉතා බරපතළ ලෙස ප‍්‍රතික්ෂේප කළ යුතු ලේඛනයක් බවත් මෙම ලිපිය යොමු කිරීම තම රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කළ හැකි බවත් ජනාධිපති වෙනුවෙන් ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා පෙන්වීමක් ද එසේ නොමැති නම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයෙකු ලෙස සිය පුද්ගලික සීමාව බිඳ ගෙන තිබීම ද යන්න ප‍්‍රශ්න කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ‘දිවයින’ ට අදහස් දක්වමින් විමසයි.
