Advertise with Giraya
NEWS

ලබන සතියේ සිට පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි

ලබන සතියේ සිට රට තුළ ඇති සෑම පෞද්ගලික ආයතනයක්ම සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැන දෙමින් විවෘත කොට පවත්වාගෙන යාමට, කොවිඩ් – 19 වෛරසයෙන් මෙරට වැඩබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පත් කෙරුණු විශේෂ ත්‍රෛපාර්ශවීය කාර්යසාධක කමිටුව එකඟතාව පළ කර ඇත.

නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යාංශයේදී පැවැති එම ත්‍රෛපාර්ශවීය කමිටු රැස්වීමේ දී පෞද්ගලික අංශයේ ආයතනවලට සහ ඒවායෙහි වැඩ කරන සේවක සේවිකාවන්ට බලපාන විශේෂ තීරණ රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී, සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍යවරයා පෙන්වා දී ඇති අතර, ඒ අනුව, කොරෝනා හෙවත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් කිසිදු සේවකයකු රැකියාවෙන් ඉවත් නොකිරීමට තීරණය කර ඇත. සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගනිමින් ආයතනික රාජකාරි කිරීමටත්, අවශ්‍යතාව අනුව සේවා මුර ක්‍රමය භාවිත කිරීමටත් තීරණය කර ඇත.

Giraya News Alerts

එසේම, සේවයේ යෙදෙන කාලය සඳහා සේවා ගිවිසුම් අනුව ගෙවිය යුතු නියමිත දීමනා සමග වැටුප් ගෙවීමටත්, සේවයේ යොදවන තෙක් (නිවසේ රැඳී සිටින කාලය සඳහා) මූලික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14500/= ක් යන දෙකින් වැඩි ප්‍රමාණය ගෙවීමටත් තීරණය කර ඇත.තවද, EPF සහ ETF නිසි පරිදි තැන්පත් කිරීමට ද තීරණය කර ඇත.

මෙම එකඟතාවන් කොවිඩ් – 19 කාල වකවානුවට අදාලව 2020 මැයි සහ ජූනි මාසවලට සීමා වන අතර ජූනි මස අවසානයේදී නැවත එම කමිටුව රැස්වී සමාලෝචනය කිරීමට ද නියමිත බව වාර්තා වේ.

එම කාර්ය සාධක කමිටුවේ නියෝජිතයන් වන ලංකා සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් හා වෘත්තීය සමිති නියෝජිතයන් නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා කටයුතු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේදී රැස්වී මෙම එකඟතාවයන්ට එළැඹී ඇති අතර රැස්වීම සඳහා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්. සරත් අභයගුණවර්ධන සහ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරු ද එක්ව ඇත.

Ads
1 Comment

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top