ජූනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් මේ වනවිට ශ්‍රෙෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ඉදිරිපත් කර ඇත.
එකී මැතිවරණය පැවැත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප‍්‍රථමයෙන් නීතීඥ චරිත ගුණරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර ඉන්පසු විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සර්වනමුත්තු මහතාත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු අට දෙනෙක්ද ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් ඊයේ (06දා) පස්වරුව වන විට එකී පෙත්සම් ඉදිරිපත්කර තිබුණි.
ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම්වරයා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් මහ මැතිවරණයට අමතරව පසුගිය ඔක්තොම්බර් 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධවද කරුණු දක්වා ඇත. ඒ අනුව රජයේ මුදල් වැය කිරීමට වර්තමාන රජයට නීතිමය බලයක් හිමි වනුයේ අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා පමණක් බවත් ඉන්පසු රජයේ මුදල් වැය කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් එකී පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇති අතර පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එසේ මුදල් වැය කිරීම මගින් වර්තමාන රජය තමන්ගේ සහ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසටද නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් ගොනු කළ අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.
මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ද නීතිපතිවරයාද නම්කර ඇත.
