ලොව පුරා කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ සංඛ්‍යාව මේ වන විට 38 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 265,240ක් මෙලොව හැර ගොසින් ය. තවත් පුද්ගලයින් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක් රෝගී තත්ත්වයේ පසුවේ.
මිය ගිය සංඛ්‍යාවෙන් 1/3ක් පමණ ඇමරිකානුවන් වේ. මේ වන විට ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව 74,809ක් වන අතර අද (07) දිනය ගෙවීමට මත්තෙන් ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව 75,000 ඉක්මවා යනු ඇත. ඇමරිකාවේ පුද්ගලයින් 1,263,224 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඉන් 213,109 දෙනෙකු සුවය ලබා ඇත. තවත් රෝගීන් 975,306 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසංගත තත්ත්වය ඇමරිකාවට එල්ල වූ දරුණුතම ප්‍රහාරය බවට ප්‍රකාශ කරන්නේ චීනය වෙතට ඇඟිල්ල දිගු කරමින් ය. බී.බී.සී. පුවත් සේවය වාර්තා කරන අන්දමට ජනාධිපතිවරයා විසින් මෙම වසංගත තත්ත්වය දෙවන ලෝක යුද්ධය සමයේ ජපානය විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමත්, දශක දෙකකට පමණ ඉහත දී සැප්තැම්බර් 11 ප්‍රහාරයටත් වඩා දරුණුව බලපා තිබෙන බව ප්‍රකාශ කර තිබේ. එසේම, එය හඳුනාගත් අවස්ථාවේ දී ම චීනයට එය නතර කිරිමට හැකියාව තිබූ බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් චීනය වෙත චෝදනා එල්ල කර කරයි.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දරුණුවටම බැට කෑ යුරෝපයෙන් වෛරසයේ බලපෑම පහව යන මට්ටමක පවතිද්දී ඇමරිකා එක්සත් ජනපදයට පසුව දිනකට වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත් වන්නේ බ්‍රසීලයෙන්ය. බ්‍රසීලයේ මේ වන විට එක් දිනකට වෛරසය ආසාදිත වූවන් 10,000කට වැඩි පිරිසක් වාර්තා වන අතර ඊයේ (06) දිනයේ දී පමණක් එහි 667 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇත. වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 126,611 ක් බ්‍රසීලයෙන් වාර්තා වන අතර පුද්ගලයින් 8588 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.
වෛරසය පැතිරෙන අවධියේ පටන් ම එය සාමාන්‍ය උණ තත්ත්වයක් බවට පවසමින් නොසැලකිලිමත් අයුරින් කටයුතු කළ බ්‍රසීලයේ ජනාධිපති ජෙය් බුල්සනාරෝ එරට දේශ සීමා වසා දැමීමට හෝ නිරෝධායන ක්‍රියාවලිය දියත් කිරීමට හෝ ඇඳිරි නීතිය පැනවීමට හෝ තීරණය කර නොතිබුණි. පවතින තත්ත්වය හේතුවෙන් ලතින් ඇමරිකවේ නිරෝධායන කටයුතු නිසි අයුරින් කරගෙන යනු ලබන අනෙක් රටවල් වලට ද වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් සේවය වාර්තා කරයි.
රුසියාවේ ද මේ වන විට සීඝ්‍රයෙන් කෝවිඩ් 19 වෛරසය පැතිර යාම සිදුවන අතර රුසියාවෙන් ද දිනකට රෝගීන් 10,000ක් ඉක්මවා වාර්තා වේ. දැනට රුසියාවෙන් කොරෝනා වෛරසය ආසාදිත වූවන් 165,929 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 1537 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. රුසියාවේ අගමැති මිහායෙල් මිෂුටින් හට ද වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව පසුගිය අප්‍රේල් මස 30 වන දින බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබුණි. ඔහු විසින් ජනාධිපති ව්ලැද්මිර් පුටින් හට කරන ලද යෝජනාවක් අනුව ඔහුගේ තනතුර සඳහා නියෝජ්‍ය අගමැති ඇන්ඩ්‍රි බෙලූසොව් පත් කර ඇත.
රුසියාවෙන් පසුව කොරෝනා වෛරසය හේතුවෙන් දිනකට වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් වේ. ඊයේ (06) දිනයේ දී පමණක් මහා බ්‍රිතාන්‍යයෙන් පුද්ගලයින් 6111 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. තවත් පුද්ගලයින් 649 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. ඒ අනුව, දැනට මහා බ්‍රිතාන්‍යයේ වාර්තා වූ සමස්ත කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 201,101ක් වන අතර වෛරසය හේතුවෙන් එරට පුද්ගලයින් 30,076 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇත.
දැනට යුරෝපානු රටවල් වලින් වාර්තා වන මරණ සංඛ්‍යාවේ කිසියම් අඩු වීමක් දක්නට ලැබුණ ද එක් දිනකට එක් රටක 200කට අධික පුද්ගලයින් ප්‍රමාණයකට තම දිවි අහිමි වෙයි. ඊයේ (07) දිනයේ දී ඉතාලියේ 369 ක් ද,බෙල්ජියමේ 323 ක් ද, ජර්මනියේ 282 ක් ද, ප්‍රංශයේ 278 ක් ද, ස්පාඤ්ඤයේ 244 ක් ද ආදී වශයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.
දකුණු ආසියාවේ වැඩිම රෝගීන් ගණනක් දැනට වාර්තා වී ඇති අසල්වැසි ඉන්දියාවේ වෛරසය ආසාදිත වූවන් ප්‍රමාණය 52,987ක් වේ. ඉන්දියානුවන් 1785 දෙනෙකු වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී ඇති අතර ඊයේ (06) දිනයේ දී පමණක් පුද්ගලයින් 92ක් මරණයට පත් වී ඇත. ඉන්දියාවේ වාර්තා වී ඇති රෝගීන්ගෙන් 15,331 ක් සුවය ලබා ඇති අතර තවත් 35,871 දෙනෙකු ආසාදිත තත්වයේ පසුවේ. ඉන්දියාවේ මරණ අනුපාතය මිලියනයකට එක් පුද්ගලයෙකු වේ. මේ දක්වා ඉන්දියාවේ රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ 1,276,781ක් සිදු කර ඇත.
