ලොව සුප්‍රසිද්ධ වීදි කලාකරුවෙක් වන බැන්ක්සි ගේ සිතුවමක් එංගලන්තයේ සවුත්හැම්ටන් රෝහලේ දී ඊයේ (06) දකින්නට ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වර්ග මිටරයක් පමණ වන එම සිතුවම මේ වන විට රෝහලේ කළමනාකරණ මණ්ඩලය විසින් හදිසි ප්‍රතිකාර අංශය අසල එල්ලා ඇත.
ඔහුගේ අනෙක් සිතුවම් සේම එය ද කළු, සුදු, වර්ණ භාවිතයෙන් කරන ලද්දක් වන අතර එයින් නිරූපණය වන්නේ කුඩා දරුවෙක් කුණු කූඩයක් අසල දණ ගසා ගෙන එන්.එච්.එස්. රෝහලේ හෙදියකගේ අනුරුවක් සමඟ සෙල්ලම් කරන ආකාරයකි. කුණු කූඩයේ දරුවන්ගේ ප්‍රියතම සුපිරි වීරයන් වන බැට් මෑන් සහ ස්පයිඩර් මෑන් අනුරු දමා ඇති අයුරු දැක්වේ.
එම සිතුවම පහතින් දැක්වේ.

චිත්‍රය සමඟ කලාකරුවා විසින් රෝහල් කාර්යමණ්ඩලය සඳහා සටහනක් ද තබා ඇත. එය මෙසේය, “ඔබ කරන සියල්ලටම ස්තූතියි, මෙය කළු හා සුදු පමණක් වුව ද මෙම ස්ථානය මඳක් දීප්තිමත් කරයි”.
බැන්ක්සි (Banksy) යනු කිසිවෙකු නොදන්නා එංගලන්තයේ වීදි කලාකරුවෙක්, දේශපාලන ක්‍රියාකරුවෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අතර ඔහුගේ සිතුවම් වරින් වර වීදි වලින් මතු වන අතර එයින් බොහෝ විට සමාජයේ විවිධ පැතිකඩන් මෙන්ම දේශපාලනය ද අපූරුවට නිරූපණය කරයි.
ඉහත සිතුවම රෝහලට ආධාර ලබා ගැනීම සඳහා වෙන්දේසි කිරීමට නියමිත බව වාර්තා වේ. ඔබගේ ඇසට හුරු තවත් ඔහුගේ සිතුවම් කිහිපයක් පහතින් දැක්වේ.









