ලබන මාසයේ පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවට ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නොමැති බව අද (05) දින නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපනය අමාත්‍යාංශය සඳහන් කරයි.
ජුනි 1 සිට අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවටත් එමෙන්ම විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල මැයි 11 දින සිට සේවයට වාර්තා කළ යුතු බවටත්, මුලින් උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහාත් ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවටත් ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තා කර ඇති ප්‍රවෘත්තියෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා, කිසිදු පළාත් අධ්‍යාපන බලධාරියෙකුට හෝ වෙනත් අධ්‍යන ආයතන ප්රධානියකුට එවැනි කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වේ.
කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වන්නටත් පෙර, මෙරට පළමු ආසාදිතයා හඳුනා ගත් සැණින් රටේ සියලූ පාසල් දරුවන්ගේ ජීවිත අභියෝගයට ලක් නොකොට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පාසැල් වැසීමේ තීන්දුව ක්‍රියාත්මක කළ බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
රටේ දරුවන්ගේ ජීවිතවල වටිනාකම හඳුනා ගනිමින්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර දීමේ වගකීම පෙරදැරිව එම තීරණය ක්‍රියාවට නැංවූ පරිද්දෙන්ම, පාසැල් නැවත විවෘත කිරීමේ තීරණය ද ක්‍රියාවට නංවන බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කර තිබේ.
නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව ඉදිරියේදී තීරණය කරනු ලබන බවත්, අධ්‍යාපන ලේකම්වරයා විසින් එම තීරණය ක්‍රියාවට නංවන්නේ පලාත් කලාප අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ අනෙකුත් සියලු ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමෙන් අනතුරුව බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කර ඇත.
එමෙන්ම, මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කර කියා සිටියේ පාසැල් නැවත ආරම්භ කිරීමේ තීරණය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත තීරණය කරනු ලබන බවත් කිසිසේත්ම අධ්‍යාපන අමාත්‍යංශය තනිව ගන්නා තීරණයක් මත පාසැල් විවෘත නොකරන බවත් ය.
