Advertise with Giraya
NEWS

දෛනික ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 යථා තත්ත්වයට

කොළඹ,ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබිය දී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි මස 11 වන සඳුදා ඇරඹෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, මේ දිස්ත්‍රික්කවල අත්‍යාවංශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය. සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේ දී කෝවිඩ් 19 වසංගත පාලනය කිරිම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරින් නියමකොට ඇති මාර්ගෝපදේශන මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍ය්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

Giraya News Alerts

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළ යුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යනඑන අයට පමණක් සීමා කෙරේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අතාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේ නම් පමණි.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top