දැනට විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විපක්ෂය වෙත දැනුම් දී තිබේ. ඒ, පසුගිය 26 වැනිදා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා තිබූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් ය.
විපක්ෂයේ ප්‍රකාශනයට අත්සන් තබා ඇති පාර්ශ්ව මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැතැයි කල්පනා කරන බව නිරීක්ෂණය වන්නේ යැයි හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් වෙයි.
කොවිඩ් -19 වෛරසය පාලනය කොට ජන ජිවිතය සුරක්ෂිත කිරීමට රාජ්‍ය තන්ත්‍රයම කැපවී ඇති අවස්ථාවක විපක්ෂය පටු දේශපාලන ක්‍රියාවලියක නිරතවන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යවන ලද ලිපියේ සඳහන් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එම ලිපිය පහතින් දැක්වෙයි.
2020 අප්‍රේල් මස 29 වන දින
ගරු සජිත් ප්‍රේමදාස මහතා
හිටපු විපක්ෂ නායක
ගරු ප්‍රේමදාස මැතිතුමනි,
විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය.
ඔබ විසින් 2020-04-26 දින ඉහත මැයෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශය හා සබැඳේ.
එම ප්‍රකාශය අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශ්වයන් මැතිවරණය පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, කොවිඩ්-19 වෛරසය තුළ ජනතාවගේ සෞඛ්‍ය, සමාජ සුරක්ෂිතතාවය හා සුභසාධනයට උපරිම ලෙස සමස්ත රාජය තන්ත්‍රයම යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත්, කොවිඩ්-19 රෝග නිවාරණය හා අදාළ කටයුතු වල නිරත වන සෞඛ්‍ය හා අනෙකුත් රාජ්‍ය සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලි කාර්යභාරය අගය නොකිරිමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි.
අතිගරු ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ පාර්ලිමේන්තුව විසිරීම එහි වසර 5ක කාලය අවසන්වීම තුළ හෝ ජනාධිපතිවරයා විසින් විසුරුවන අවස්ථාවක සිදුවන බවත්, ඒ අනුව 2020 මාර්තු මස 02 වන දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැර අති බවත්ය.
එම විසුරුවා හැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශ්වයන් පිළිගැනීමෙන් ද ඉහත සඳහන් විසුරුවා හැරීමේ නිවේදනයේ වලංගුභාවය තහවුරු වන බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.
විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත්, 2020-03-02 වන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කළ විසුරුවා හැරීමේ නිවේදනය අනුව 2020-04-25 දින මැතිවරණය පැවැත්විය යුතු බවත්, ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020-06-20 දින මැතිවරණය පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බව දන්වන ලෙස ද මා වෙත උපදෙස් ලැබී ඇත.
තවද, ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 70(7) අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බවද අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත.
මෙයට – විශ්වාසී,
පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්
