පසුගිය 28 වන දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද “උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් කරන ඉල්ලීම” යන මාතෘකාව සහිත ලිපියට ජනාධිපති විසින් සිය ලේකම්වරයා මඟින් අද (30) පිළිතුරු ලිපියක් යවා ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.
ගරු මංගල සමරවීර මැතිතුමනි,
උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන්ඉල්ලීම.
ඔබ විසින් 2020-04-28 දින ඉහත මැයෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත අමතන ලද ලිපිය හා සම්බන්ධවයි.
එම ලිපියේ අන්තර්ගත කරුණු වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇති බව නිරීක්ෂණය වන බවත් හා හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් එවැනි ලිපියක් ඉදිරිපත් කිරීම කණගාටුදායක කරුණක් බවත් ඔබ වෙත දන්වන ලෙස අතිගරු ජනාධිපතිතුමා මා වෙත උපදෙස් දී ඇත.
එම ලිපියේ අන්තර්ගත කරුණු රැසක් අධ්‍යයනය කිරීමේදී පහත සඳහන් නිරීක්ෂණයන්ට එළඹීමට ද සිදු විය.
1- ඔබ දන්නා පරිදි 2015 බලයට පත් වූ රජයට දින 21කින් අයවැයක් ඉදිරිපත් කිරීමට හැකි වූයේ 2015 වර්ෂය සඳහා 2014 ඔක්තෝබර් මස විසර්ජන පනත හා අදාළ අයවැය ඇස්තමේන්තු සම්මත වී තිබූ පරිසරයක් තුළ බව සඳහන් නොවීම.
2- 2015 සිට 2019 දක්වා ඔබ හා ඔබට පෙර සිටි මුදල් ඇමතිවරයා විසින් පරිපූරක ඇස්තමේන්තු රාශියක් සෑම වර්ෂයකම ඉදිරිපත් කළ අතර අයවැය යෝජනා සඳහා අදාළ නීති කෙටුම්පත් ද පාර්ලිමේන්තුව විසින් නීතිමය තත්ත්වයන්ට පත්කර නොතිබුන බව.
3- 2019 සඳහා අනුමත විසර්ජන පනත හා අයවැය ඇස්තමේන්තු තිබියදීත් නොගෙවූ බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 182ක් වූ අතර ඒ හිඟ මුදල් පොහොර, ඖෂධ, වැඩිහිටි සහන හා විවිධ ඉදිකිරිම් සඳහා එම භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා තබුන බව සඳහන් නොවීම,
4- රු.බි. 211ක විදේශ ණය ලබාගෙන අනුමත ප්‍රතිපාදන නොමැතිව ඒවා වියදම් කර තිබුණ ද රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඇති බව,
5- ජාතික ආදායමේ වර්ධනය සියයට 5ක සිට සියයට 2.5 දක්වා වාර්ෂිකව දුර්වලවීම, රාජ්‍ය ණය හා අයවැය හිඟයන් වැඩිවීම ගැන හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් පැහැදිලි කිරීම් ලිපියේ ඇතුලත් කර නොතිබීම,
6- හම්බන්තොට වරාය වැනි ජාතික වත්කම් විකුණා දැමුවද, එයින් ලද විදේශ මුදල් වලින් විදේශ ණය නොපියවීම ගැනද, ETIවැනි මූල්‍ය සමාගම් කඩාවැටී තැන්පත්කරුවන් අසරණභාවයට පත්වීම ගැනද කිසිදු සඳහනක් නැති බව,
7- පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පණතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3)යටතේ ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස3ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය පැවරී ඇති බවත් එය මීට පෙර ද විසර්ජන පණතක් සම්මතවීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති සෑම අවස්ථාවකදීම ක්‍රියාත්මක කර ඇති අයවැය නීති රාමුව බව විශේෂයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඔබ දන්නා බව නොහැඟවීම.
ජනාධිපතිවරණයෙන් පසු අතිගරු ජනාධිපතිතුමා නව රජයක් පිහිටු වීමෙන් පසු අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගරු අගමැතිතුමා විසින් ඔබ මුදල් අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයද ඇතුළත්ව ගෙවීමට තිබු රු.බි. 182ක ප්‍රමාණයක හිඟ බිල්පත් හා රු.බි 211 ප්‍රමාණයක විදේශ ණය ව්‍යාපෘති මුදල් ගිණුම්ගත කිරීමට නීතිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරණයේදී බහුතර ජනතාවගේ ජනවරම නොසලකාහැරීමද කනගාටුවට කරුණක් බව අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත උපදෙස් දී ඇත.
එය 2015 දී පත්වූ ජනාධිපතිවරයාට පක්ෂව සිටි සුළුතර රජයට විපක්ෂය සහය දුන්ආකාරයට බෙහෙවින් පටහැනිය.
මේ සියල්ලටම වඩා නව ලිබරල්වාදී සමාජ හාආර්ථික දර්ශණයක් තුළ කටයුතු කරන ඔබ වැනි උගත් හා බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳ අතිගරු ජනාධිපතිතුමා කනස්සල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි.
මෙයට, විශ්වාසී,
පී.බී. ජයසුන්දර
ජනාධිපති ලේකම්


